Thursday, May 27, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 01 -

       ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.මොහොතින් මොහොත වෙනස්වෙන ජීවිතේ හරියට ගලන ගඟක් වගේ.අපිට ජීවිතේදි අත්විඳින්න සිද්ධවෙන දුක,සතුට,වේදනාව ....  මේ හැමදේම පුදුම ඉක්මනින් වෙනස් වෙනවා.මේ බව අඳුනගත්තු මිනිස්සු ජීවිත කාලයම සතුටින්,මැදහත් සිතින් විඳිනවා.ඒත් ඒ බව නොදන්න තවත් සමහරු, මුළු ජීවිතේම විඳවනවා.

       ජීවිතේ විඳිමින් උන්නු මමත් , අද ජීවිතේ විඳවනවා.සතුටින්,සෙනෙහසින්,සිනහවෙන් පිරිලා තිබුණු මගේ ආත්මය අද දුකින්,කඳුලින්,සුසුමින් පිරිලා ඉතිරිලා ගිහින්.ඒ මට අහිමිවුණු, මගේම ජීවිතේ නිසා.
       ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.මගේම ජීවිතේටත් වඩා මම එයාට ආදරේ කලා.අවුරුදු ගාණක් ලං වෙලා නොහිටියට , අපේ ආදරේ තුල ඇතිවුණේ ආත්මීය බැඳීමක්.සමහරවිට ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති.

       ඉතිං ඒ කඳුළු කතාව පෑන් තුඩෙන් සිත්තම් කරන්න මම ඉටා ගත්තේ , අපේ ආදර කතාව ලෝකටම ඇහෙන්න කෑ ගහල කියන්න මට ඕනි වුණු නිසා.
      ගාළු කොටුවේ බංකුවක් උඩ තනිවෙච්ච මම,මගේ කතාව මෙහෙම ලියන්නං.....

------------------------------------------------------------------------------------------------------------

     මගේ මේ කඳුළු කතාවේ පුංචි කුමාරි "සඳුනි".
    
     එයාව මට මුලින්ම හම්බුණේ අපේ ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකදි.එදා ඒ ප්‍රදර්ශනේ බලන්න පිට ඉස්කෝල සෑහෙන ගානකිං ළමයි ආවා.ඉතිං ඔය අතරේ හිටපු එක අහිංසක ඇස් දෙකක් ලඟ , මගේ හිත ටිකකට නතර වුණා.
 
     කොන්ඩෙ කරල් දෙකට ගොතලා,සුදු පාට රැළි තුනේ ගවුමට නිල් පාට ටයි එකක් දාල හිටපු එයා,එයාගේ යාළුවෝ ටිකත් එක්ක පුදුම සතුටකින් හිටියේ.ඒ ලස්සන සුදු මූණ පුරාවට පිරිලා තිබුණු ඒ අහිංසක හිනාව....ඒ නිල්පාට ඇස්වල තිබුණු එළිය.... ,ඇත්තමයි වචන වලින් විස්තර කරන්න බැරි තරං ලස්සනක්.
     එයා මගේ ලඟ නැති උණත් අදටත් ඒ ඇස්වල ලස්සන , මගේ හිත කොනිත්තනවා.

     එයා , එයාගේ යාළුවෝ ටිකත් එක්ක අපේ ප්‍රදර්ශන භාණ්ඩ තිබුණු ඉසව්වට කිට්ටු වුණා.ඒ බව දැකලා මගේ හිතේ ගැස්ම වැඩි වුණේ මටත් නොකියාමයි.

       "අනේ බලන්නකෝ සඳුනි , මෙයා බයවෙලා වගේ ඔයා දිහා බලං ඉන්න හැට්"

    මගේ සිහින ලෝකේ චාරිකාව නිමා වුණේ එයාගේ යාළුවෙක් මාව පෙන්නලා කරපු විහිළුව නිසා.මාව සීතල වුණා.ලැජ්ජාව වැඩි වුණත් ඒ ලස්සන ඇස් දෙකෙන් , මගේ ඇස් දෙක අයින් කරගන්න මගේ හිත මට ඉඩ දුන්නේම නැහැ.

     "කෙල්ලො දැකල නැතුව වගේනේ බලන්නේ ; මාර කුකුළෙක් වගේ.පරිස්සමෙන් සඳුනි"

     ඒ පාර තවත් ඇනුම් පදයක්.මේ කෙල්ලන්ගේ කටවල් නං හොඳටම වැඩියි.හැබැයි ඒ දඟකාර කටවල් වලට පිං සිද්ධවෙන්න , මම එයාගේ නම දැනගත්තා ; " සඳුනි ....."

      මම එයා දිහා බලං හිටියා වැඩියි කියලා මට තෙරුණේ ටික වෙලාවක් ගියාමයි.මම හෙමිහිට බිම බලාගත්තේ හිතේ ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න හිතාගෙන.සඳුනිත් වැඩි කතාවක් බහක් නැති කෙල්ලෙක් කියලා එයාගේ හැසිරීමෙන්ම මට දැනුණා.ඒකටත් එක්ක එයාගෙ යාළුවෝ ටික!!!!

    ආයෙමත් ඔළුව උස්සලා බලද්දී සඳුනිත් යාළුවන්ගේ කතාවට හිනා වෙනවා.හැබැයි ඒ හිනාව සමච්චලයකටනං නෙවෙයි.නෑ!ඒ තරං අහිංසක කෙනෙකුට , කාටවත් සමච්චල් කරන්න බැහැ.ලැජ්ජාව නිසාද කොහෙද , එයත් බිම බලාගන්නවා මම දැක්කා.


පරදවන
 නිල් තරු
 ලස්සනයි
ඔය නෙතු..


සිනාසෙන
මුතු කැට


සඳක් වන්
ඔය වත


පරදවන
සුරඟන
නිවාලයි
මා සිත..

   අපේ ප්‍රදර්ශන කුටිය පුරාම එයා ,යාළුවොත් එක්ක ඇවිද්දා.ඒ හැම තත්පරයක් පාසාම මගේ ඇහැ,හිතත් එක්කම එයාවම ලුහුබැන්දා.

   
      මගේ වයසේ වෙනත් පිරිමි ළමයි කරන විදියට එයාගෙ පස්සෙන් ගිහින් එයා එක්ක කතා කරන්නවත් , මගේ ටෙලිෆෝන් නොම්මරය එයාට දෙන්නවත් ඕනි කියලා මට හිතුනේ නැහැ.මොකද ඒ වෙලාවේ මගේ හිතේ ඇති වුණේ උමතු ආදරයක් නෙවෙයි.ඒත්, අනේ මංදා.හිත හෙල්ලුනා , කවදාවත්ම නොවෙච්ච තරං.

       "සමහරවිට ගිය ආත්මේ මම ලඟින් ආශ්‍රය කරපු කෙනෙක් වෙන්න ඇති" ,

       එහෙම හිතලා මම සැනසුණා.

       ඒත් ඒ ලස්සන , ඒ හිනාව , ඒ ගමන .... මගේ හිතේ තැන්පත් වුණා.

       "සඳුනි............"


 - මතු සම්බන්ධයි -

5 comments:

  1. ඈ බං, ගාල්ලේ මොකද්ද නිල් පාට ටයි තියෙන ඉස්කෝලයක් තියෙන්නේ?????

    ReplyDelete
  2. අඩේ අප්පා. කතාවේ පටන් ගැන්ම හොඳයි වගේ. ඔහොම යන් ඔහොම යන් ලොක්කා

    ReplyDelete
  3. පිස්සා වෙත - පිස්සෝ , මෙකේ තියෙන්නේ "ඒ ප්‍රදර්ශනේ බලන්න පිට ඉස්කෝල සෑහෙන ගානකිං ලමයි ආවා.." කියලානේ මචෝ.ඉතිං ඔය ගාල්ල කිට්ටුව වෙන ඉස්කෝලයක් වෙන්න ඇති බං.අනික කසුන්ට වරදින්න විදියක් නෑනෙ බං :)

    හසිත වෙත - ස්තුතියි සහෝ.අපි බලං ඉමු,කසුන් කතාව කියනකං :)

    ReplyDelete
  4. chmara ube name kasun kiyala kotasak nadda MACN??:j

    ReplyDelete
  5. @ HIM - හහ් හා...මම චාමර මධුසංක..කසුන් කියන්නේ මගේ කතා නායකයා!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය