Friday, March 23, 2012

විභාග අඳෝනාව !!!



විභාග අඳෝනාව !!!




[ නිමිත්ත : විශ්ව විද්‍යාලයේ Semester 3 අවසන් විභාග කාල සටහන ලැබේ!]

කෝස්වර්ක් ගොඩගැහිලා,

පාඩම් වැඩ මග ඇරිලා,
ඇස් ළඟටම මම එරිලා,
සිතෙනවා යන්නට පැනලා...

මිඩ් එග්සෑම් ඉවර වූනා,

කිවුවට එහෙමම නොවූනා,
හයියෝ මට මතක් වුනා,
කැල්කියුලස් ඉතුරු වුනා...

විෂයන් 11 යි බොලේ,
නෝට් ලියමි මෙදා සැරේ,
පොත් ගත්තත් බරට බරේ,
සතියයි ඒවා කෙරුනේ...

සති හයකින් අවසානේ,
තියෙනවා තුන් වෙනි සෙමියේ,
වැඩ නොකලත් මෙදා සැරේ,
කරනවා මම ලබන සැරේ !!!

හිතුවත් හැමදා මෙලෙසා,
කවදද කෙරුනේ එලෙසා,
නිසා ඔබව නොකර ලොසා,
මම යනවා ඇක සලසා...


ප.ලි. : හැමදාම ඔහොමයි!! මොන දෝසයක්ද මංදා !!!! :)))

Wednesday, March 21, 2012

පැතුමන් මගේ...

පැතුමන් මගේ...




සෙනෙහස් සුවය උතුරන නුඹේ හද මඬල
සොඳුරු බවින් පිරිපුන් නුඹේ මුව කමල
සිත සනසමින් මුමුණන නුඹේ වදන් පෙළ
භවයෙන් භවය පතනෙමි මට හිමි වන්න...


සිහිලැල් සුවඳ විහිදෙන නුඹේ වත කමලේ
හිනැහී දිලෙන තරුකැට වන් නෙතු සඟලේ
යහනක සුවය දැනෙනා නුඹේ ලය මඬලේ
වැතීරී මියෙන්නට පතනෙමි හැම භවයේ...

Sunday, March 18, 2012

නිමක් නැති කතාවක්... පිටු අංක 02

~~ නිමක් නැති කතාවක්... පිටු අංක 02 ~~ 




"දුවන්න ෂමිරු , දුවන්න..."

ඉන්ටවල් එකේ අල්ලන සෙල්ලං කරන එක තරං ජොලි වැඩක් තවත් නෑ.
අද කරන්නේ හොරා , පොලිස්.

අද පිරිමි ළමයි ටික හොරු , ගෑණු ළමයි ටික පොලිස්.


අහුවෙන කට්ටියව කූඩුවට ගිහින් දානවා.කූඩුව කිව්වේ ඉතිං ගහක් වටේට බිම ඇඳපු රවුමක්.එතනට අධි ආරක්ෂාව.කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම මුර කරනවා.

ඔන්න ඉතිං අපි පණ කඩාගෙන , ළමයි පෙරලගෙන දුවනවා සිහිය නැතුව.


හැමදාමත් වගේ , නෙත්මි මගේ පස්සෙන්ම එලෝනවා.එයත් එක්ක දුවල බේරෙන්න හරිම අමාරුයි.ඒත් වෙට්ටු දදා මාත් දුවනවා.



"දඩා..ස්....!!"

මම වැටුනේ තව ළමයි දෙන්නෙකුත් එක්ක.

"කොහෙද දුවන්නේ!! මෝඩයා!!"

"පිස්සුද පොඩි එකෝ!!"

ලොකු අයියලාගෙන් , අහිංසක මට  බැනුං .

"මම යැ හැප්පුනේ!මම කලේ පොලීසියෙන් ගැලවෙන්න දුවපු එක විතරයිනේ!එයාලානේ ඇවිත් මගේ ඇඟේ හැප්පුනේ!" 


මගේ හිත බනිනවා.

වෙලාවට මට වැඩිය තුවාල නෑ.දනිස්ස චුට්ටක් සීරිලා.

දූවිලි පිහිදගෙන නැගිටින්නවත් හම්බුනේ නෑ.

" ඇල්ලුවා!! හුරේ!! "

නෙත්මිට මාව අහුවුනා.

"දැන් ඉතිං කූඩුවේ තමයි!"

ඒ පුංචි මූන රතු වෙලා.දාඩිය බිංදු බේරෙනවා කම්මුල් දිගේ.

මම හිනාවුනා.

ලස්සනයි ඒ ඇස්...

එයා මගේ අතින් හයියෙන් අල්ලගත්තා.

සනීපයි...එයාගේ අත් සිනීදුයි....පුළුන් කොට්ට වගේ...

වෙනදට අත ගසල දාලා දුවන මම , අද එයාට අවනත වුනා...
එයත් එක්ක , එයා මාව අරන් යන දිහාවට මාත් ගියා පිටිපස්සෙන්....

"කොන්ඩෙත් ගස්ස ගස්සා යන හැටි ! දඟම දඟයි එයා..බදාගන්න තරං ආසයි..." ඒ මගේ හිත...

"නෙත්මි..."

එයා නැවතුනා.එයාගේ චූටි ඇස් මං දිහා බලනවා...

"මම වැටුනා.."


ඒ චූටි ඇස් ලොකූ වුනා... මගේ අත තවත් හයියෙන් අල්ලගත්තා...



"තුවාලද ඔයාට?"

දුකෙන් , පුදුමෙන් එයා මගෙන් අහනවා..

මමත් දුක මූනක් මවාගත්තා..

"ඔව්ව්ව්..මේ...."

මම දණහිස හීරුණු තැන පෙන්නුවා.

එය මගේ ඇත අතැරලා , දණහිස හීරුණු තැනට අත තිබ්බා...

"ඌයියා...රිදුණා මට..."

"අනේ ගොඩක් තුවාලයිනේ ෂමිරු...යමු බේත් ටිකක් දාගන්න..."

යෝජනාවක්..

"ඕනි නෑ.. අමාරුවක් නෑ මට...චුට්ටයිනේ..."

උත්තර මගෙන්...

"අලි පන්ඩිතයිනේ ! එහෙනං යමු කූඩුවට.."

මූන උල් කරගෙන අහක බලන ගමන් , මවාගත්තු ආඩම්බර කමකින් එයා කියනවා..

"හා! හැබැයි අතින් අල්ලගෙනම එක්කගෙන යන්න..නැත්තං මම දුවනවා..."

මගෙන් එයාට තර්ජනයක්...

"ටාං...! ටාං...! ටාං... !" ඉන්ටවල් ඉවරයි..

"දුවමු පංතියට.."

"කවුද බලමු මුලින්ම යන්නේ.."

තුවාල අමතකයි.හොරා කවුද , පොලිස් කවුද කියලා හොයාගන්න බැරිවෙන්නම අපි දෙන්නා තරඟෙට දිව්වා පංතියට...

************ 

  නෙත්මිව අහම්බෙන් දැකපු දවසෙන් පස්සේ හැමදාමත් මම එයාව හෙව්වා.බස් ස්ටෑන්ඩ් එකේ හැමදාමත් උදේට එයා ඒවී කියල හිත හිතා බලං හිටියා මම..මගේ පරණ යාළුවෝ හැමෝම දැනගෙන හිටියා මම එයාව හොයනවා කියලා,ඒත් කවුරුවත් එයා ගැන විස්තරයක් දැනගෙන හිටියේ නෑ...මගේ අවාසනාව...

  මගේ සිතිවිලි දවසෙන් දවස ව්‍යාකූල වුනා.. මට මාව අමතක වෙන්න පටන් ගත්තා... කැම්පස් ජීවිතේට වඩා , මගේ හීන ලෝකෙට මම ආස කරන්න පටන් ගත්තා... එයා ගැන හිත හිතා මම හිතෙන් ලෙඩෙක් වුනා...




"ඇයි මචං මේ?? හෙනම අවුලකින් බං උඹ දැන් ඉන්නේ..."

"ඔව් බං.. ඉස්සර වගේ මෙලෝ වැඩකට එන්නේ නෑනේ බං උඹ.."

"කොයි වෙලාවේ බැලුවත් මනෝ ගහගෙන..."

"සීන් එකක් තියෙනවනං කියපන් බං!!"

මගේ අතිජාත යාලුවන්ගෙන් මට චෝදනා..

"මට ප්‍රශ්නයක් තමයි බං..ඒත්..., ඒත් උඹල ගාව ඒකට විසඳුමක් නෑ බං.." 

"විසඳුමක් තියෙනවද නැද්ද කියලා බලන්න , කියලා හිටපන්කෝ සීන් එක..."

අන්තිමට මුළු කතාවම එක හුස්මට කියලා දැම්මා මගේ සහෝදරයෝ වගේ උන්නු යාළුවන්ට..

"සීරියස් කෙස් එකක්නේ බං...ඒත් ඉතිං මහා අමාරුවෙක් වෙන එකක් නෑ බං... අපි ට්‍රයි එකක් දීල බලමු හොයාගන්න එයාව..."

"වැඩක් නෑ බං.. ඉන්න තැනක් දන්නෙත් නෑ..කරන්නේ මොනවද කියලා දන්නෙත් නෑ.. කොහේ කියලා හොයන්නද බං.." මගේ හිත දුක පුරෝගෙන කියවනවා... 

"එයාව මට ආපහු හම්බෙන එකක් නෑ..." මගේ හිත මට කියනවා...

"යකෝ මාස ගානක් ඇවිදලා හරි හොයාගමු!! අපි ඉන්නකං උඹට දුකෙන් ඉන්න දෙන්නෑ බං!! හොයල බලමු හැමතැනම!" ඒ මිත්‍රත්වයට මම හැමදාමත් ගරු කළා... යාලුවෙක් වෙනුවෙන් තමන්ගේ පණ වුනත් දෙන්න ලෑස්තියි ඕනිම එකෙක්...

"හ්ම්... ට්‍රයි එකක් දෙමු... ඒත් මම හිතන්නේ නෑ..." මම එකඟ වුනා...


************  

"මම සී-සෝ පදින්න බයයි.."

අපිට P.T. වෙලාව.

"එන්න අනේ , බයවෙන්නෙපා! මාත් ඉන්නවනේ... එන්නකෝ..."

නෙත්මිගේ ඇවටිල්ල අහක දාන්න බැරිවුනා මට...

"යමු.." බයෙන් බයෙන් මාත් ගියා...

"ඔයා වාඩිවෙන්න මුලින්ම.."

මම එක පැත්තක වාඩිවුනා.

"දැන් හයියෙන් අල්ලගන්න.." එයාගෙන් විධානයක්!
පුළුවන් තරං හයියෙන් මම අල්ලගත්තා යකඩ බාර් එක.ටිකෙන් ටික මාව උඩ යනවා මට දැනුනා.

මට බයයි!මම ඇස් පියාගත්තා.හිමීට ඇහැක් ඇරලා බලද්දී , අනිත් පැත්තෙන් නෙත්මි නැගලා  වාඩි වෙලා.

"හරී..ඊ....ඊ..."

මම ඇස් ඇරියා.

"දැන් ඔයා බිම යනවා..."

මාව හිමීට බිමට පාත්වුනා.

"දැන් කකුල් දෙක බිම තියලා තල්ලු කරලා උඩ යන්න.."

එයා කියපු විදියටම මම කළා.මාව හිමීට උඩ ගියා..

"හරී...ඊ.. දැන් ආපහු....."



එදානං මට හරිම ජොලී.මුලදී පොඩ්ඩක් බයවුනත්  , සී-සෝ පදින එක හරි ජොලි වැඩක්!!


එක පාරකදී එයා උඩ යනවා...ඊළඟට මම...
හී.... මට හරි හිනා... 
එයාගේ ගවුම මලක් වගේ පිම්බෙනවා හුළඟට අහුවෙලා...

"ළමා..යි!!දැන් පන්තියට යන්න හැමෝම.."

P.T. මැඩම්ගෙන් විධානයක්.

"දැන් බහින්නේ කොහොමද??" මට ලොකු පුරස්නයක්!

"ඔයා මුලින් බැහැලා,හිමීට මාව පාත් කරන්න.."

මම බැහැගත්තා.හිමීට පාත් කිරීම කෙසේ වෙතත් , එක පාරටම මට සී-සෝ එක අතෑරුනා!!

"දඩාං..."

එයා හිටපු පැත්ත මහා හයියෙන් බිම වැදුනා..
මුණත් රතු කරගෙන , ඉන්නවා එයා මට රවාගෙන.

"සොරී..." මට දුක හිතුනා...
මම ගිහින් එයාව නැගිට්ටෙව්වා.

"තුවාලද ඔයාට?"

උත්තර නෑ!එයා පිපිරෙන්න ඔන්න මෙන්න...

"අනේ තරා වෙන්නෙපා!මීට කලින් මම සී-සෝ පැදලා නෑනේ!"

මට ඇඬෙන්න ඔන්න මෙන්න.මගේ ඇස වලට කඳුළු බිංදු පිරෙනවා මට දැනුනා..

එයාගේ තරහව අඩුවුණා..

"කමක් නෑ..ඒත් තව පොඩ්ඩෙන් මට තුවලා වෙනවා!! නපුරා!!"

"එහෙම වෙන්න දෙන්නේ නෑ!!"

ඒ වචන ටික මට කියවුනේ එයා මගෙමයි කියලා හිතුනු නිසා..

එයාගේ ඇස් දිලිසුනා...ඒ මූන ලස්සන හිනාවකින් පිරුනා...

"එන්න අපි යමු පංතියට..."

මගේ අතිනුත් ඇදගෙන එයා මාව පංතියට එක්ක ගියා...

ෂෝක්!!!

************  

  යාලුවෝ හැමෝම මගෙන් නෙත්මි ගැන දන්න විස්තර ටික ඉල්ලගත්තා... හැමතැනම එයා ගැන විස්තර හෙව්වා...එයා ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගිය ඉස්කෝලේ ලමයින්ගෙනුත් විස්තර හොයලා බැලුවා..අන්තිමට අපේ උත්සාහය සාර්ථක වුනා..

"එයා Facebook ඉන්නවලු මචං!!"

  ඒ වෙනකොටත් නෙත්මිලා සෑහෙන ගානකට මම Facebook friend request දාලයි තිබුනේ..ඒත් ඒ කවුරුවත් මගේ නෙත්මි නෙවෙයි කියලා තේරුං ගත්තා එයාලගේ විස්තර වලින්....

"කවුද මචං කිව්වේ?කෝ ඉතිං මට එවන්න කියපන්කො ලින්ක් එක!!"

"හරි හරි බං... අද රෑ වෙද්දී එවයි! මගේ යාලුවෙක්ගෙ කෙල්ලෙක් දන්නවලු එයා ගැන!"

  මගේ හිත වේගෙන් ගැහෙන්න පටන් ගත්තා... අන්තිමට මට එයාව ආපහු හම්බෙන්නයි යන්නේ... විස්වාස කරන්නත් බෑ මට...

"එයා  දැන්  මොනවද කරන්නේ?කැම්පස් ද?ජොබ් එකක් කරනවද?එය කොහෙද දැන් ඉන්නේ?කවුරුහරි එක්කෙනෙක් එක්ක එයා යාලු වෙලාද?" මගේ හිතේ ප්‍රශ්න ගොඩයි...

  එදා රැ වෙනකං මම ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන්..අන්තිමට මගේ යාළුවා පොරොන්දු වුනු විදියටම එයාගේ profile link එක මට හම්බුනා...

  "Nethu Sarangi MunasingheAdd Friend

  මගේ හිත ගැහෙන්න පටන්ගත්තා... මේ එයාමද?? ගැහෙන ඇඟිලි තුඩුවලින් එයාට friend request එකක් දැම්මා..




  දැන් හැමදේම එයාගේ අතේ... පණිවිඩයක් තියන්න පුළුවන් වුනත් , මොනවා කියන්නද කියලා මගේ හිත මට කිව්වේ නෑ.. ඒ නිසා මම බලාන ඉන්නවා එයා මාව accept කරනකල්...

************   



ඔයානං හරිම දඟයි...
චුට්ටක්වත් ඉන්න දෙන්නේ නෑ මට...
හොරා පොලිස් කරලා මහන්සියි මට...
ඒත් ඔයා එක්ක දුවන්න ආසයි මම..

මේ.... ඔයා දන්නවද වැඩක්?

වෙනදා කවදාවත් මම අහුවෙන්නේ නෑ පොලිස්සියට..
ඒත් ඔයානේ අද මාව අල්ලගත්තේ...
ඉතිං කෝමද පැනල දුවන්නේ..

කමක් නෑ..
ඔයානේ..

ඊළඟ දවසෙත් ඔයාම මාව අල්ලන්න එන්න...
මම අහු වෙන්නං...


************   

-- මතු සම්බන්ධයි --



Tuesday, March 13, 2012

මගෙම වෙනු මැන....

මගෙම වෙනු මැන....


හීන හිරිමල් හිත පුරා යන
ආදරෙන් සිත නහවලා...
ලංවෙලා මගේ ලොවට රහසින් 
හිමින් නුඹ මට ඉඟි කළා...
පාළුවෙන් උන් අඳුරු කාලය
සිනහවෙන් නුඹ එලි කළා...
නුඹේ සෙනෙහස හිරිවැටුණු මගේ
සිත් හැඟුම් උණුසුම් කළා....






කොහෙන්දෝ විත් අමුතු සුවඳක්,
මගේ හද තුල නැවතිලා....
සිතම රිදවන වේදනා දුක්,
මගෙන් ඈතට පා කළා...
පුරුද්දට මෙන් සසර පෙර සේ,
මෙදත් ඔබ මා එක්වෙලා...
සදාකල් මේ ලෙසින් ඉන්නට,
පැතුම් හද තුල පොදි කළා...






හිත පුරා රැඳී නුඹේ සුවඳින්,
හදවතම කිති කැවෙනවා...
නුඹේ සෙනෙහස සොයන මා නෙතු,
නුඹේ රුව මඟ බලනවා...
ඇවිත් හීනෙන් හඬන මා සිත,
නුඹේ කොපුලින් තෙම තෙමා...
ආදරෙන් සැමදාම ඉනු මැන,
නුඹ මගේ විතරක් වෙලා....





Wednesday, March 7, 2012

එදා , අද සහ ඔබ....

එදා , අද සහ ඔබ....





එදා,

මුව පුරා,


සිනා මැව්,


සිත තුටින් පිරවූ,


ඔබේ රුව,





අද,

නෙතු පුරා,


කඳුළු බිඳු,


පුරවා,


ඒ සිත ම,


හඬවයි....