Monday, June 21, 2010

Sunday, June 20, 2010

මගේ අම්මා , මට ලිව්ව කවිය....

     හැමදාම ආදරේ , ජීවිතේ ,දුක , සතුට ගැන ලිව්ව මම , අද ටිකක් වෙනස් දෙයක් ගැන පොඩි සටහනක් තියන්නයි මේ සූදානම.ඒ මගේ ජීවිත කතාවේ සුවිශේෂී සංධිස්ථාන සහ  මගේ අම්මා,මං ගැන ලියපු කවියක් ගැන.

   මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු( පියා සහකාර විදුහල්පතිතුමෙක්.දැනට නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ සේවය කරනවා : මව සාමාන්‍යපෙළ ගණිත ගුරුවරියක්.දැනට කොට්ටාව ධර්මපාල ම.වි. යේ සේවය කරනවා ).

   ඉතිං පොඩි කාලේ ඉඳන්ම මගෙයි , අක්කගෙයි ( නම : හසිතා , වයස : 26 ) අධ්‍යාපන කටයුතු ගැන අම්මයි,තාත්තයි ගොඩාක් උනන්දු වුණා.ඒ ගැන හොයලා බැලුවා.

    ඉතිං ඕකේ ප්‍රථිඵලයක් විදියටයි මම 5 වසරේ ශිෂ්‍යත්වේ ලකුනු 183 ක් එක්ක ඉහලින්ම සමත්වෙලා කොලඹ රාජකීය විදුහලට ඇතුළත්වෙන්න තරං වාසනාවන්ත වුනේ.( ඊට පෙර ඉගෙනගත්තේ කොට්ටාව ධර්මපාල ම.වි. යේ. )

    ඉතිං රාජකීය විදුහලට ගියාට පස්සෙත් , මගේ ඉගෙනීම පිටිපස්සේ විශේෂයෙන්ම මගේ අම්ම හිටපු නිසා හුඟාක් සාර්ථකව ඒ කටයුතු කරගන්න මට පුළුවන් වුණා.ඉතිං ඔහොම ගිහිං සාමන්‍යපෙළටත් A 9 යි C 1 ( Eng.lit. ) යි විදියට ඉහලම ප්‍රතිඵලයක් ලබාගන්න මට පුළුවන් වුණා.

   ඊට පස්සේ උසස්පෙළට මම ගණිතය හදාරන්න පටං ගත්තා.මොකද මට ගණිතයට තිබුනේ ලොකු ආසාවක් සහ ලොකු මහන්සියක් නැතුව ලකුනු ගන්න පුළුවන් විෂයක් විදියට මට දැනුණේ ගණිතය විතරයි.උසස්පෙළ පංතිවලදිත් කිසිම ප්‍රශ්නයකින් තොරව මම කටයුතු කරගෙන ගියා.වාර විභාගවලිනුත් බොහෝවිට පංතියේ පළමු 3 දෙනා අතර ඉන්න මට පුළුවන් වුණා.( 1 වෙන්නනං කවදාවත් බැරිවුණා.:-( )

   ඉතිං ඉස්කෝලේ ගුරුවරු වගේම මගේ අම්මයි තාත්තයිත් මගේ උසස්පෙල ගැන ලොකූ බලාපොරොත්තුවකින් තමයි හිටියේ.

    විභාගෙත් කිසිම අවුලක් නැතුව කලා කියලා මට දැනුනා.ඒත් අවාසනාවකට මගේ උසස්පෙළ ප්‍රතිඵලවුණේ ;

සංයුක්ත ගණිතයට- C :
භෞතික විද්‍යාවට- B :
රසායන විද්‍යාවට-B ; 

Z-Score : 1.5428
D-Rank : 555 ( දිස්ත්‍රික්ක සමාර්ථය )
I-Rank : 2096 ( සමස්ත දිවයිනෙන් )


    ඉතින් ඔය ප්‍රතිඵලත් එක්ක මගේ ඉංජිනේරු සිහිනය තනිකරම බිඳවැටුණා.මාව තේරුණේ කොලඹ භෞතීය විද්‍යා අංශයටයි.මම මානසික වැටුණා.කිසිම විදියකින් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක් ලැබුනු නිසා අම්මයි,තාත්තයි වගේම මගේ යාළුවොත් පුදුමවුණා වගේම දුක්වුනා මං ගැන.


ඔය අතරේ හුඟාක් යාළුවෝ මට පෙන්නලා දුන්නා සැබෑ යාළුකමයි , බොරු යාළුකමයි අතර වෙනස!යාළුවෝ බොහෝම කීපදෙනෙක් ඇරෙන්න අනිත් අය මගෙන් ඇත්වුනා.
 සමහර නෑඳෑයෝ පුදුම විදියට කිඹුල් කඳුලු හෙළුවා!යටිසිතෙන් මගේ වැටීම ගැන සතුටුවෙන ගමන්! )

    ගෙදරින් කිව්වේ මට භෞතීය විද්‍යා අංශයට යන්න , මොකද ආපහු විභාගේ කරන්න ලෑස්තිවෙන්න තරං කාලයක් තිබුණේ නෑ වගේම පලවෙනිපාර මම මහන්සිවුනු තරමත් එක්ක දෙවෙනි පාරක් කළත් ප්‍රතිඵලවල වෙනසක් නොවෙයිදෝ කියන සිතුවිල්ල තිබුනු නිසා වෙන්නැති.

    ඒත් මම හිත හදාගත්තා. විභාගේ ආපහු කරනවා කියලා! ඒ වෙලාවේ හිත හදාගන්න මට ගොඩාක් උදව්වුණේ ,හැම මොහොතකම මගේ ලඟින් උන්නු,මගේ පෙම්වතිය.එයා මාව ගොඩාක් ධෛර්යමත් කලා.මට විභාගේ ඉහලින්ම කරගන්න පුලුවන් බව පෙන්නලා දුන්නා.මට, මං ගැනම විශ්වාස නැතිව උන්නු වෙලාවක මට ලොකු හයියක්වුණේ එයා.

    ඉතිං මම ආපහු විභාගෙට ලෑස්තිවෙන්න පටංගත්තා.ඒ වෙනකොට අප්‍රේල් මාසෙටත් කිට්ටුවෙලා තිබුණේ.මාස 4යි ඉතුරුවෙලා තිබුනේ.කොහොමහරි විභාගේ ගොඩදාන්න ඕනි කියන හැඟීමෙන් මම වැඩකලා.


    අපේ අම්මා මට ඕනිකරන පොත්පත් ආදී මෙකී නොකී, මට අවශ්‍ය දෑ සියල්ල ගෙනත් දුන්නා.කොහොමහරි විභාගෙත් කලා.මම විභාගේ ලියනකං අපේ අම්මා වජිරාරාමෙට ගිහින් බෝධිපූජා තිබ්බා.

අවසානේ ප්‍රතිඵල ආවා.


සංයුක්ත ගණිතයට- B :
භෞතික විද්‍යාවට- A :
රසායන විද්‍යාවට- A ; 

Z-Score : 2.2053
D-Rank : 109 ( දිස්ත්‍රික්ක සමාර්ථය )
I-Rank : 383  ( සමස්ත දිවයිනෙන් )


   ඉතිං මේ වතාවේ මගේ හීනය සැබෑවුණා.මගේ අම්මගෙයි,තාත්තගෙයි වගේම මගේ පෙම්වතියගෙත් උත්සාහය මලඵල ගැන්වුනා.:D 

( අර කිඹුල් කඳුලු හෙලාපු නෑයන්ටයි , මාව දාල ගිය යාළුවන්ටයි කටඋත්තර නැතිවුණා.අළු ගසාදාලා , ආපහු මම නැගිටපු නිසා!:D  )

   මම දැන් මේ 29 වනදා ආරම්භවෙන කටුබැද්ද ඉංජිනේරු පීඨයේ 2010/2011 අධ්‍යයන වර්ෂයට ඇතුළත්වෙන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.


   ඔන්න ඔය අතරේ , ගිය සතියේ දවසක අපේ අම්මා මට කවියක් ලියපු කොලයක් දීලා කිව්වා;

"පුතේ,ඔය කවිය මම ලිව්වේ ඔයගේ පලවෙනිපාර A/L ප්‍රතිපල ආපු වෙලාවේ" කියලා.

    ඒ කවිය කියවපු මට හිතුණේ අම්මල අපිට නොපෙන්නුවාට,අපේ අනාගතය ගැන කොච්චර ගින්දරක් හිතේ තියාගෙන ඉන්නවද කියලා!

මෙන්න ඒ කවිය :

 ******


2009.01.04     රාත්‍රී

හද කකියයි පුතුණේ,
 ඔබ ගැන සිතනා,
 මොහොතක් පාසා...
 
මා සිතු ඒ පැතුම බොඳවිය,
 මා දෙපතුල ලඟ...

දවසින් දවස දැනෙනා මේ දුක,
 මෝරයි දින දින...

ඉකිබිඳ හැඬුවෙමි දවස පුරා,
ඔබට නෑසෙනා ලෙස....

හදවත පුරා,
නැඟෙයි ගිනිදැල්....

කෙසේ වෙතත් අම්මට හැකිවෙයි,
 ඒ දුක ඉවසන්නට...

අනාගත දවසක , 
 පුතුනේ ඔබටත්,

දැනේවී දරු දුක....
 එතෙක් මා ඉවසන්නම්...

******

කවිය කියවලා මගේ හිතට දැනුණේ පුදුම දුකක් වගේම ලොකු සතුටක්.

දුක හිතුනේ අම්ම කොච්චර මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියාද,ඒක මට පලවෙනිපාර ඉෂ්ඨ
කරන්න බැරිවීම ගැනයි.
 
සතුටක් දැණුනේ දෙවෙනිපාරහරි මහන්සිවෙලා අම්මාගේ ඒ අහිංසක බලපොරොත්තු ඉෂ්ඨ කරන්න මට පුළුවන්වුණු නිසයි.

අම්මලා අපිට නොපෙන්නුවාට අපි ගැන ගොඩාක් බලාපොරොත්තු , හීන ගොඩගහගෙන ජීවත්වෙනවා කියන එක මට හරියටම තේරුනේ මේ කවිය දැක්කාමයි.

මම මගේ අම්මාගේ බලාපොරොත්තු ඉෂ්ඨකලා.

ඔයාලත් මේ ගැන ටිකක් හිතන්න.

අම්මලාගේ බලාපොරොත්තු කවමදාවත් බිඳින්න එපා!

Saturday, June 19, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 05 -

    එදා ඒ ගමනෙන් පස්සේ සඳුනියි මායි අතර තිබුණු බැඳීම තව තවත් සමීපවුණා.ඒ විතරක් නෙවෙයි , හැමදාම පංති ඉවරවෙලා ගාළුකොටුවට ගිහින් මුහුද දිහා බලාගෙන ටික වෙලාවක් කතා කරන්නත් අපි දෙන්නා පුරුදුවුණා.සඳුනිටවත් , මටවත් කවදාවත් හිතුණේ නැහැ අපි කරන්නේ වරදක් කියලා.මොකද අපි දෙන්නා අතරේ තිබුණේ අයියා කෙනෙකුයි , නංගි කෙනෙකුයි අතරේ තිබුණු සහෝදර බැඳීමක් මිසක් උමතු ආදරයක් නොවෙනවග මම වගේම එයත් හොඳටම තේරුං අරගෙනයි හිටියේ.

    සඳුනි ජීවිතේ හැම මොහොතක්ම සතුටින් හිටපු කෙනෙක්.ජීවිතේ ගැන හැමවෙලේම තෘප්තිමත්ව කතාකරපු කෙනෙක්.ඒවුණාට එයා තමංගේ මුලු ජීවිතේම දුක්විඳපු කෙනෙක් කියලා මම දැනගත්තේ සෑහෙන කාලයක් ගිහිල්ලා.

***


    එදත් සුපුරුදු විදියට අපි පංති ඉවරවෙලා ගාළු කොටුබැම්මට ගියා.සඳුනි එදා මට ලොකූ කතාවක් කියන්න ලෑස්තිවෙන බව මට තේරුණා.

"කසුන්.."


"ම්...."

"මම දවසක් ඔයාව පොරොන්දු කරගත්තනේ මගේ පවුලේ අය ගැන අහන්න එපා කියලා?"

"ඔව්.මම අදවෙනකන් ඒ පොරොන්දුව කැඩුවේ නෑනේ සඳුනි?"


"ඇත්ත.ඒකයි මම හැමදාමත් කියන්නේ ඔයා වගේ යාළුවෙක් ලබන්න මම කොච්චර පිං කරලා තියෙද කියලා.

ඒත් මට අද මගේ ජීවිතේ මම ඔයාට නොකියපු ඒ කතාවත් කියන්න ඕනි කසුන්.මම මේ ගැන කිසිම යාළුවෙක්ටවත් අද වෙනකං කියලා නෑ.ඒත් මට මේ විභාගේ ගැන තියෙන පීඩනෙත් එක්ක මේක තවත් හිතේ තියාගෙන් ඉන්න බෑ කසුන්."

ඒ ඇස් දුකෙන් පිරිලා.හිතපුරාම සඳුනි දුක්විඳින විත්තිය ඒ ඇස්වලින් මට දැනුණා.


"කියන්න සඳුනි.මම අහගෙන ඉන්නවනේ.මටත් ආසයි ඔයාගේ පවුලේ උදවිය ගැන දැනගන්න."

ඒ ඇස්වලට කඳුලු ඉනුවා.මම හේතුවක් දැනගෙන හිටියේ නෑ.


"මගේ යාළුවෝ හැමෝම හිතාගෙන ඉන්නේ මගේ අම්මයි තාත්තයි ඉන්නෙ රට,ඒ හින්දා මම මගේ පුංචිඅම්මා ගාව ඉන්නේ කියලා,ඒත් ඇත්ත ඒක නෙවෙයි...."

මම මේ වාඩිවෙලා ඉන්න තැන ඉඳගෙන,එදා සඳුනි එයාගේ ජීවිතේ ගැන මං ඉස්සරහා දුක,කඳුලු පිරුනු කතාවකට මුල පිරුවා.


".... අපේ පුංචි පවුලේ හිටියේ අම්මයි,තාත්තයි,මමයි මගේ අයියයි.අපේ තාත්තා කළේ කුරුඳු බිස්නස්.ඉතිං හොඳ ආදායමක් තිබුණු නිසා අපිට සල්ලිවලින් අඩුපාඩුවක් තිබුණේ නෑ.

අපි ගොඩාක් සතුටින් හිටියා.හැම සති අන්තෙකම අපි කොහේ හරි ඇවිදින්න යනවා.හුඟාක් වෙලාවට එන්නේ කොටුව පැත්තට.ඇවිත් රෑවෙනකංම ඉඳලා රෑටත් කොහෙන් හරි කඩේකින් කාලා බීලා සතුටුවෙලා තමයි යන්නේ.එතකොට මමයි අයියයි හරිම පොඩියි.

ඒත් කොහෙදෝ හැංගිලා තිබුණු අවාසනාවක් අපේ පුංචි පවුල හොයාගෙන ආවා.

මට අවුරුදු 8දී , මගේ අයියා අපිව දාල යන්නම ගියා!ඒ ඇක්සිඩන්ට් එකකින්.අයියා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට පාරේ ගිය බස් එකක් ඇවිත් අයියව අපෙන් සදහටම වෙන්කලා..

අපේ අම්මයි තාත්තයි , අයියගේ මරණේ නිසා සම්පූර්ණයෙන්ම මානසිකව වැටුණා.මට මතකයි අම්මයි තාත්තයි මාව බදාගෙන අඬපු හැටි.

සතිගාණක් යනකං අපි බඩපිරෙන්න බත් කටක් කෑවේ නෑ.මම ඒ කාලේ පොඩි එකා වුණත් මටත් අයියා නැති දුක ගොඩාක් දැනුණා.අයියා නැතුව මුළු ගේම පාළුවෙලා ගියා.

අයිය නැතුව මගේ මුළු ලෝකෙම පාළුවුණා.මගේ ලෝකේ මම තනිවුණා.අපේ අයියා මට ගොඩාක් ආදරෙන් හිටියේ.කවදාවත්ම රංඩුකරලා නෑ මාත් එක්ක.කවදාහරි මම දෙයක් ඉල්ලලා කෑ ගැහුවොත් ඒ දේ මට දීලා එය සතුටින් බලං හිටියා මිසක් වචනයක්වත් කියන්නේ නෑ එයා.එච්චරටම අහිංසකයි.මම අදටත් දුක්වෙනවා මගේ රත්තරං අයියා වෙනුවෙන්..."


සඳුනිගේ ඇස්වල තිබුණු කඳුළු කැට හෙමිහිට කම්මුල් දිගේ පහලට රූටනවා මට පෙනුණා.ඒ කඳුළු පිහදන්න තරං මට හයියක් තිබුණේ නෑ.සඳුනිගේ කතාවට සමවැදිලා උන්නු මටත් දැනුණේ මගේ හිතේ ගින්දරක් පත්තුවෙනවා වගේ.

මොහොතකට නිහඬ වුණු සඳුනි ,සුදුම සුදු පුංචි අත්දෙකෙන් කඳුළු පිහිදගෙන ආපහු කතාව පටංගත්තා... ;


"අයියා නැතිවෙලා ටික කාලයක් යනකොට තාත්තයි අම්මයි අතරේ ආරවුල් ඇතිවෙන්න පටංගත්තා.ඒකට හේතුව අදටත් මම දන්නේ නෑ!

රංඩුවෙලා ගෙදරින් යන තාත්තා සමහර දවස්වල ගෙදර එන්නෙත් නැහැ.ආවත් වැටෙනකංම බීල බීල වෙරි මරගාතෙං තමයි ආවේ.හැබැයි තාත්තා කොච්චර අසිහියෙන් හිටියත් අම්මටවත්,මටවත් කවමදාවත් අතක් ඉස්සුවේ නෑ.

ඒත් ඒ ආරවුල් හැමදේම ඉවරවුණේ මට අවුරුදු එකොලහක් වෙද්දී අපේ තාත්ත අපිව දාලා යන්න ගියාමයි.

මම දැනං හිටියේ නෑ ; ඒත් මම ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස්වෙලා කියන සතුටු ආරංචියත් අරගෙන ගෙදර එනකොට , අපේ අම්මා ගෙදර මුල්ලකට වෙලා අඬ අඬා ඉන්නවා.ආත්තම්මයි , පුංචි අම්මයි අපේ තාත්ත ගැන කිය කියා හොඳටෝම සාප කරනවා.මට මුකුත් තේරුණේ නැහැ.

පස්සේ කාලේක තමයි මට මේ දේවල් තේරුං ගන්න පුළුවන් වුනේ.ඒත් මම කවමදාවත් මගේ තාත්තට වෛර කළේ නැහැ!

මම මගේ තාත්තට අදත් , එදා වගේම ආදරෙයි.මොන වරදක් කළත් , ඒ මගේ තාත්තා...."

මම මේ ඉන්නේ සැබෑ ලෝකේද , හීන ලෝකෙද කියලා මටම හිතාගන්න බැරිවුණා.මෙච්චර සතුටින් ඉන්න සඳුනිගේ ජීවිතේ මෙච්චර දුකක්??මට විස්වාස කරන්නත් බෑ.ඒත් ඒ හැමදේම මගේ ඉස්සරහම ඇත්ත වෙනවා.

සඳුනි ගාළුකොටුවෙන් එපිට මහ සාගරේ ඈත සිතිජයට ඇස් යැව්වා..සමහරවිට ඈත ආකාසේ , එයාට එයාගේ තාත්තගේ රූපේ මැවිලා පේන්න ඇති.


දිග හුස්මක් හෙළාපු සඳුනි , එයාගේ කතාවේ අන්තිම කොටසත් මං ඉස්සරහ අහිංසක විදියට දිගහැරියා...; 

"තාත්තා අපිව දාලා යද්දී අපේ ගෙවල් දොරවල් හැමදේම ණයතුරුස්වලට උකස් වෙන්න ඔන්න මෙන්න තත්වයක් තිබුණේ.අපි වටේ හිටපු නෑඳෑයො , හිතවත්තු හැම දෙනෙක්ම අපෙන් ටික ටික ඈත්වෙන්න පටං ගත්තා.අපේ ගෙදර මූසල ගෙයක් විදියටයි එයාල හිතුවේ.

ඉතිං මේ හැමදේමත් එක්ක මාවත් උස්මහත් කරන්න අපේ අම්ම නොවිඳි දුකක් නැහැ.අන්තිමට අම්මා තීරණය කළා රට යන්න.මොකද අම්ම හොයපු සොච්චමෙන් අපිට ජීවත් වෙන්න හරිම අමාරුවුණා.මාව පුංචි අම්ම ගාව නතර කරපු අම්ම,මීට අවුරුදු හතරකට විතර කලින් , ඩුබායි යන්න පිටත් වුණා.

අම්මා කලමනාකරණය ඉගෙනගෙන තිබුණු නිසා හොඳ ආදායමක් තියෙන රස්සාවක් හොයාගන්න අම්මට අමාරුවුණේ නැහැ.ඉතිං අම්ම එහෙම හම්බුකරලා එවපු සල්ලිවලින් මං හොඳට කාලා , ඇඳලා හිටියා.ඒ වගේමයි මම හොඳට ඉගෙනගත්තේ , කවදාකහරි අපේ අම්මව සතුටින් තියනවා කියන අරමුණෙන්.

ඒත් අවාසනාව මගේ පස්සෙන්ම ආවා.මගේ අහිංසක අම්මා ; මාව උස්මහත් කරන්න සල්ලි හොයන්න රට ගිය අම්මා ; එහෙදි දරුණු උණ සන්නිපාතයක් හැදිලා , මාව මේ ලෝකේ කාත් කවුරුත් නැති අසරණියක් කරලා , මාව දාල යන්නම ගියා!

අපිට අම්මගේ බොඩීඑකවත් ලංකාවට ගෙන්න ගන්න බැරිවුණා.

අන්තිමට මං වෙනුවෙන් දුක් විඳපු අම්මා , මගේ මූණවත් දකින්නේ නැතුව , නන්නාඳුනන රටකදී මාව සදහටම තනිකරලා යන්න ගියා....."

ඒ වචන ටික අමාරුවෙන් ගොනුකරපු සඳුනි නිහඬවුණා.

හරියට එයාගේ මුලු ලෝකෙම නිහඬවුණා වගේ.

      මෙච්චර දුකක් විඳගෙන ජීවත් වෙන්න කොච්චර ධෛර්යක් ඕනිද!කෙල්ලෙක් වෙලත් සඳුනි ඒ දුක දරාගෙන , ජීවිතේ අරමුණක් ඇතුව ජීවත්වෙනවා දැක්කාම පුදුමත් හිතෙනවා.

 සඳුනිගේ කතාව නිසා මම ගොළුවුණා.කියන්න ඕනි මොනවද කියලා මමවත් දැනං හිටියේ නෑ!

මේ වගේ කතා මම මීට කලින් කියවලා තිබුණේ කතාපොත්වල විතරයි.මම කවදාවත් හිතුවේ නෑ , මේ වගේ දේවල් සැබෑ ලෝකෙදි සිද්ධවෙනවා කියලා.ඒත් විස්වාස කරන්න බැරි ලෝකේ , මේ වගේ කතාත් තියෙනවා කියලා මට එදා තේරුණා.

ඇතිවුණ නිහඬබව බිඳගෙන සඳුනි කතා කළා ;  


"කසුන්,මොකද වුණේ?එකපාරටම මුළු ලෝකෙම අමතක කරලා වෙන ලෝකෙකට ගියාද?"

අහිංසකී...


"හ්ම්...."

සඳුනි අසරණ විදියට හිනාවුණා;

 "ජීවිතේ ඔහොම තමා කසුන්.කාටත් ජීවත් වෙන්න දුක් විඳින්න වෙනවා.ඒක තමයි ජීවිතේ හැටි.සමහරු පොඩි පොඩි සිද්ධි නිසා ජීවිතෙන් පැනලා යන්න හදන්නේ ජීවිතේ ගැන හරිහැටි තේරුං ගන්න බැරුව.මාත් ඒ විදියට හිතුවනං , මම මේ වෙනකොට දහස්වතාවක් මැරිලා කසුන්!"

"ඒත් ඔයා ආදරේ කරපු හැමකෙනෙක්වම ඔයාගේ ජීවිතෙන් උදුරගෙන යන්න තරං ඔයාගේ දෛවය ඔයාටම නපුරුවෙලා!"


"ඔව් කසුන්.ඒත් ඒ දේවල් සිද්ධවෙන්න තිබුණු දේවල් වෙන්න ඇති.ඒත් ඒ හැමදේම වුණාටත් පස්සේ,ඔයා වගේ සහෝදරයෙක් , යාළුවෙක් මට ලැබුණෙත් ඒ දෛවය නිසාම නේද?

මගේම සහෝදරයෙක්ට වගේ ආදරේ කරන්න පුළුවන් ඔයා වගේ මිතුරෙක් මට ගෙනත් දෙන්නත් , ඒ දෛවයම තීරණය කළා නේද කසුන්?"

මට ඉබේම සඳුනි දිහා බැලුණා.

"ඔව් කසුන්...මගේ ජීවිතේට ආපහු මගේම අයියා ආවා වගේ.ඒ අහිංසකකම , ඒ ආදරේ , ඒ සුවඳ... ඒ හැමදේමත් ඔයාගාව තියෙනවා කසුන්.මේ ලෝකේ කාත් කවුරුවත් නැතිව තනිවුණ මට , මගේම කියලා කෙනෙකුට ඉන්නේ ඔයා විතරයි කසුන්.මට දැන් තියෙන එකම බය,ඔයාව මට කවදාහරි නැතිවෙයිද කියලයි කසුන්!"

අහිංසක ඇස් කතාකරනවා.

දුක,කඳුළු,මතක, ඒ ඇස්වලින් දෝරේ ගලනවා.


    සඳුනිගේ හිතේ හිරවෙලා තිබුණු වේදනාව , කඳුළු කැටවෙලා එලියට පනින්න හදනවා.ඒ වගේමයි ලොකු බලාපොරොත්තුවක් ඒ ඇස් වලින් මම දැක්කා!ඒ හැමදාමත් , සහෝදරයෙක් විදියට එයා ගාවින්ම ඉන්න කියන ආයාචනය.

    ඒ ලස්සන මූණ දිහා බලං ඉන්න තවත් මට දහිරියක් තිබුණේ නෑ!මගේ හිතත් ඇඬුවා.මගේ ඇස්වලට කඳුළු ඉනුවේ මටත් නොකියාමයි.

 "නෑ සඳුනි , කවදාවත්ම නෑ!ඔයාගේ තනියට , මං හැමදාමත් ඔයා ලහින්ම ඉන්නවා."

නොදන්න අනාගතයක් වෙනුවෙන් මම , එදා සඳුනිගේ සීතල අත අල්ලගෙන දුන්නු පොරොන්දුවට , අදටත් ගාළුකොටු බැම්ම සාක්ෂියි!

----------------------------------------------------------------------------------------------

සඳුනි...

අඬන්න එපා,
මම ඉන්නවනේ ලඟින්,
දුකක් දැනුනොත් මට කියන්නකෝ,
මම ඒ දුක මගේ කරගන්නං,
ඔයා අඬන්න එපා,
කඳුලු මට දෙන්න,
ඔයා වෙනුවට මම අඬන්නං,
ඔයා හිනාවෙලා ඉන්න,
හැම මොහොතකම,
ජීවිතේ සතුටින් ඉන්න,
ජීවිතේම මගේ ලඟින් ඉන්න,
ආදරෙන් බලාගන්නං,
මගේම නංගියෙක් වගේ...

 
සත්තයි,
මගේ හුස්ම තියෙනකං,
ලඟින්ම ඉන්නං ,
මගේ ජීවිතේම,
ඔයා වෙනුවෙන්,
පූජා කරන්නං,
මගේ ආදරණීය නංගියේ..

ඔයාගෙම අයියා,
කසුන්ගෙන්... 

---------------------------------------------------------------------------------------------- 


-මතු සම්බන්ධයි-

Friday, June 18, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 04 -

   මොහොතකට නිරුත්තරවුණ මම , සඳුනි අහපු ප්‍රශ්ණෙට හිත පතුලෙන්ම ආපු සැබෑ උත්තරේ හිමීට ඒ අහිංසක ඇස් ඉස්සරහා මෙහෙම ගැලපුවා;

"ජීවිතේටම සිදු නොවිච්ච තරම්ම මගේ හිතට සමීප වුණේ ඔයා සඳුනි!!!වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට මෙහෙම සමීපවෙලා නෑ.හීනෙකිංවත් නැහැ.

හැබැයි මම ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ නැහැ.මොකද එහෙම දෙයක් ලැබෙනවනම් , ඒක මට ලැබේවි කවදාහරි.

ඔයා මට මගේම නංගි කෙනෙක් වගේ.එතනින් එහා ගිය දෙයක් මම ඔයා ගැන හිතලා නෑ.මගේම නංගි කෙනෙක්ට වගේ මම ඔයාට ගොඩාක් ආදරෙයි සඳුනි."

    මගේ වචනයක් වචනය පාසා සඳුනිගේ ඇස් වලට කදුළු ඉනුවා මම දැක්කා.ඒත් එයා ඇඬුවේ නෑ!ඒ ඇස් වල පිරිල ඉතුරුණේ මං වෙනුවෙන් එයාගේ හදවතේ තිබුණු සෙනෙහස කියලා මගේ පුංචි හිතට දැනුණා.ගොඩාක් දේවල් දිගට කියන්න හිටිය මට , එතනින් එහාට මුකුත් කියාගන්න බැරිවුණා.ඒ අහිංසක ඇස් ඉස්සරහා මම ආයෙත් ගොළුවුණා.

    සඳුනියි මායි මොහොතක් යනකං අපේම ඇස් දිහා බලාගෙන හිටියා.මොහොතක් වුණත් කල්පයක් තරං දිගයි කියලයි මට දැනුණේ.


  මොහොතකින් සඳුනිගේ අහිංසක මූණ ආයෙමත් අර ලස්සන හිනාවෙන් පිරුණා.

-------------------------------------------------------------------------------------------------------------

කසුන්.....

සමහරු කියනවා හොඳ යාළුවෙක් ලබන්න ගොඩාක් පිං කරන්න ඕනි කියලා.

ඉතිං මමත් ගොඩාක් පිං කරලා ඇති මෙච්චර කෙටි කාලෙකින්,හදවතට ගොඩාක් සමීපවෙච්ච,ඔයා වගේ යාළුවෙක් ලබන්න.



මං පොරොන්දු වෙලා කියන්නං , ඔයාව කවදාවත් මගේ හිතේ මතකයක් විතරක් කරන්නෑ කියලා.

ඒත් ඉතිං ඉතිරිය ඔයාට බාරයි.

ඔයාට මගේ මිත්‍රත්වය එපාවුණු දවසට මං හරිම අසරණ වේවී.
මොකද එදාට ඔයාගේ හිත වෙනස්කරන්න මට පුලුවංද කියලා දන්නේ ඔයාම විතරයි.

ඉතිං මගේ මේ පුංචි ජීවිත කාලේදි,ඔයා මගේම සොහොයුරෙක් වෙලා , හැමදාමත් මගේ ලඟින්ම ඉඳියි කියලා අහිංසක විදියට ප්‍රාර්ථනා කරන්නං.

ඒ ප්‍රාර්ථනාව බොඳ කරන්න එපා ; කවදාවත්ම එපා ...

ඔයාගේම සඳුනිගෙන්.....

--------------------------------------------------------------------------------------------------------------

      " ඇයි සඳුනි හදිසියෙම මෙහෙම දෙයක් මගෙන් ඇහුවේ ? "

     සඳුනි මගේ ඇස් දෙකෙන් එයාගේ ඇස් අයින්කරගෙන ඈත මුහුද දිහා බලාගත්තා.

      "නෑ කසුන්,මට බයයි ඔයා මගේ සමීපකම වැරදියට තෙරුං ගනියිද කියලා.මං දන්නවා , ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා,ඒත් මට බය හිතුණා.ඒකයි ඇහුවේ.මොකද ඔයා වගේ යාළුවෙක් මට කවදාවත් ආයෙමත් හම්බවෙන එකක් නෑ.ඉතින් ඒ වගේ යාලුවෙක්ව නැතිකරගන්න මම කැමති නෑ කසුන්"

 
     "නෑ සඳුනි , කවදාවත් එහෙම වෙන්නෙ නෑ!ඔයාට මාව යාළුවෙක් , සහෝදරයෙක් විදියට ඕනිකරනතාක් මම ඔයා ලඟින්ම ඉන්නං.එතනිං එහා ගිය දෙයක් මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ සඳුනි.කවදාවත්ම නෑ!"


       "එහෙනං ඉතිං ඔයාට තව වැඩි කාලයක් මාත් එක්ක ඉන්න ලැබෙන්නේ නෑ!"

    මාව ගැස්සුණා!! "ඇයි ඒ??" මගේ හිත කෑ ගහල අහනවා!


    මට ඉබේම සඳුනි දිහා බැලුනා.මගේ ඇස් දෙකෙන් මගේ හිතේ තිබුණු දේ සඳුනිට දැනෙන්න ඇති.

     "අයියෝ කසුන්!විහිළුවක් කලේ!හිත රිදුණා නං සමාවෙන්න!මම වැඩිය හිතුවේ නෑ." 

     අහිංසක කම මූණේ පුරෝගෙන ඒ අහිංසකී සමාව ඉල්ලනවා.මගේ මූණට යාන්තං හිනාවක් ආවා.

     ටික වෙලාවක් යනකං සඳුනි මගේ ඇස් දිහා බලං හිටියා.ඒ නිහඬබව බින්දේ සඳුනිමයි ;

    "ඒත් කසුන්,ජීවිතේ කියන්නේ විස්වාස කරන්න බැරි , මහ අරුම පුදුම දෙයක්.අපි හිතන පතන හැමදේම ඒ විදියට ඉෂ්ට වෙනවනං , මේ ලෝකේ මීට වඩා කොච්චර ලස්සන වෙයිද කසුන්.ඒත් ඒව එහෙම වෙන්නේ නෑ!"

     ඒත් එදා සඳුනි කියපු ඒ වචන ටිකේ තේරුම එවේලේ මට නොතේරුනත් , එයා මට ඒත්තුගැන්නුවේ මොකක්ද කියලා අද නං මට හොඳටම පැහැදිලියි.

"..ජීවිතේ කියන්නේ විස්වාස කරන්න බැරි , මහ අරුම පුදුම දෙයක්...."


   ඒ වචන ටික අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා.ඔව්!ඇත්තමයි,ජීවිතේ හරිම පුදුමයි.ජීවිතේ විසින්ම ඕනවටත් වැඩියෙන් මගේ ඇස් පනාපිටම ඒ දේ ඔප්පු කරලා ඉවරයි.

-මතු සම්බන්ධයි-

Wednesday, June 16, 2010

මොහොතක මතකය.....

~~~ මොහොතක මතකය ~~~

සීතලයි ඔය අත්ල,
පුදුම සිනිඳුයි,
මොහොතකට වුණත්,
හිත නතරවුණා...

ඇස් දෙක මාව මඟහැරියත්,
හිත ගැස්සුනා කියලා,
මට දැනුනා...
ඇඟිලි තුඩුවලින් මගේ අත,
මිරිකගත්තේ ඒ නිසා නේද?


නමවත් දන්නේ නෑ,
හමුවුණෙත් මොහොතකට,
ඒ වුණත්,
දැනගෙන හිටියා වගේ,
ආත්ම ගානක්....

මමත් ඔයාගේ,
අත්පොඩිය තවත් මිරිකගත්තේ,
සිනිඳු ඔය අත්ලේ සීතල,
හිතට දැනුනු නිසා,
ආත්මයට කා වැදුණු නිසා....

ඒ අත්ල,
සිපගන්න තිබුණානම්,
තුරුළුකරගත්තානම්,
සුවපත් වෙන්න තිබුණා,
මගේ හිත,
තවත් ආත්ම ගානකට.... 


අහිංසකකම පිරිච්ච,
ඔය ඇස්,
මං දිහා බැලුවා මතකද?
දෙතුන් වතාවයි....

ඒත් ඇස් මට කීව කතාව,
හරිම දිගයි,
මගෙ හිත ඔයාට දැනුණා,
"ඔයා මට ආදරෙයි නේද?"
එහෙම නේද ඇහුවේ?
මට දැනුණා....


ඒත්,
මොහොතකින්,
මාව දාලා යන්න ගියා....
නමවත් කිව්වේ නෑ!
මගේ නම ඇහුවෙත් නෑ!

ඒත් මට හිතුණා,
ආපහු හම්බවේවී,
කවදා කොතනකදී හෝ,
ඒ නිසා,
සමුදුන්නා මොහොතකට.....

මුණ ගැහුණාම ආපහු,
මතක් කරන්නම් හමුවීම,
ඔයාට අමතකවෙලා තිබුණොත්,
ඒ පුංචි කාලෙට.... 
 

Tuesday, June 15, 2010

ඈ මඟ බලන්නී...

ඈ අඬන්නී,
මඟ බලන්නී,
ඔහු එනතුරා....
දෑස් නොනිඳා,
දුක් විඳිද්දී,
ඈ,
තවමත් බලා හිඳින්නී...

තනිකමට පුරුදුවී,
කඳුළු බිඳු මිතුරුවී,
ඈ ලඟ,
තනි රකීවී,
ඈ,
මඟ බලන්නී,
ඔහු එනතුරා...


 ඔහු,
රට රකිද්දී,
රුපුබල බිඳිද්දී,
මියැදුනේ,
විරුවකු ලෙස,
දෙසේ...


එහෙත්,
ඈ,
නොදන්නී,
තවමත් මඟ බලන්නී,
සෙනෙහසිනි,
නොබිඳුනු පතිවතිනි...


මවුබිමට සෙනෙහසින් දිවිපිදූ ඒ විරුවන්ගේ ආදරණීය බිරින්දෑවරු , මේ පිං බිමේ දිරිය කාන්තාවන්ය.

අපේ රටේ සුවහසක් ජනයාගේ සාම පාරමිතාව උදෙසා,තම සතුට පූජාකළ ඒ දිරිය මවුවරුන්ට අපගේ උත්තමාචාරය!!

Sunday, June 13, 2010

ඉපදුනු කාටත් පොදු වූ උරුමය

   
සරම් බැනියම් ඇන්දත්,
ටයි කෝට් කලිසම් ඇන්දත්,
එන්න කිව්වාම
නොගිහිං ඉන්න බැරි තැනක්....

  පයිං ගියත්,
ප්‍රාඩෝ එකක ගියත්,
හැමෝම යන
එකම තැනක්....

පැල්පතක හිටියත්,
සුපිරි මැදුරක හිටියත්,
වෙලාව ආවාම
යන්නම වෙන තැනක්....


පානුයි පරප්පුයි කෑවත්,
හැම් බේකන් කෑවත්,
නොගිහින් බේරෙන්න
බැරි තැනක්...

ජීවත්වන ඔබත්,
ඒ වගේම මමත්,
කවදාකහරි
යන තැනක්...

 ඒ අන් තැනක් නොවෙයි!
ඔබේත් , මගේත්,ඉපදුනු අප කාගේත්

පොදු උරුමය වූ,

මරණ මංචකයයි.....

 
 අපි මැරෙන මිනිස්සු බව දැනගෙන ජීවත්වෙමු!

Thursday, June 10, 2010

මම ඉඳීවී...................

~~~ මම ඉඳීවී... ~~~

 
තරු කැටක් වී,
ඔබට තනි රකිමී,
ඈත දුර අහසේ,
ඔබ සිටිද්දී...

නිල් සයුර වී,
මඟ බලාවී,
ගඟක් වී සුසිනිඳු,
ඔබ ගලද්දී...

මියෙන තුරු,

මම ඉඳීවී,
ඔබේ වී,
හද ගැස්ම වී.....

Wednesday, June 9, 2010

මගේ තනිකම

~~ මගේ තනිකම ~~

දුන් සහසක් පොරොන්දු
වියැකිලා ගිහිං,
කඳුළු විතරක් තනිකමට
තුරුළුවෙලා ඉතිං,
කියනවා දුක හිතෙන
කතාවක් හෙමිං,
අසන්නට ඔබ නෑ ,
ඔබ මා දමා ගිහිං...


මහද දුක්ගිනි ඉහිළුවා ඉතිං,
කඳුළු තරුකැට වැතිරුණා හෙමිං,
සිනහ මල් කැන් වියැළිලා ගිහිං,
ඔබ නැතිව මම හඬනවා දුකිං...

මියෙනතුරු මා ඉන්නවා ලඟිං,
කියූ ඔබ අද කොහෙදෝ ගිහිං,
හඬන මා සිත ඉතිරිලා දුකිං,
අත්හැර යාවිදෝ මා මේ ජීවිතෙං...


සනසවන්න නැහැ
කිසිවෙකුත් මා ලඟිං,
 සිහිනෙකින් හෝ
මුදවන්න මා තනිකමිං,
මගේ සොඳුරිය
සිතා මා ගැන ආදරෙං,
එනවදෝ දෝවන්න
මගේ සිත ස්නේහෙං...
 

Tuesday, June 8, 2010

මා හැරදමා ඔහු වෙත ගිය නුඹ...

~~ ඔහු වෙත ගිය නුඹ ~~

පරවගොස්
සුවඳ නැතිවූ
මලකි
නිවී ගිය
මැටි පහන් තැටියකි
දැවී අළුවූ
පහන් තිරයකි
සිඳී ඉරිතැළුණු
ගංතෙරකි



මා හැරදමා
ඔහු වෙත ගිය
නුඹ මට....

දුගඳ හමනා
කුණුගොඩකි...


Monday, June 7, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 03 -

  මම කතා කරනවා ඇහිලා , ඩෙස්ක් එක උඩ ඔළුව තියාන හිටපු සඳුනි හිමීට ඔළුව ඉස්සුවා.


   "මටද කතා කළේ ?"


    එයා හිමීට ඇහුවා.මාව හීතල උණා ඒ ලස්සන කටහඬ අහලා.වචන ගැලපෙන්නෙත් නැහැ.ඒත් මම අමාරුවෙන් වචන හොයාගෙන කතා කලා.


   "ඔව්...ඔයා සඳුනි නේද?"


  එයාගේ මූණ පුංචිම පුංචි හිනාවකින් පිරුණා.


   "ඔව්.මම තමයි සඳුනි..ම්...මං හිතන්නේ මාත් ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා.....ම්..ම්.....කොලේජ් එකේ ප්‍රදර්ශනේදි නේද??"


   "හ්ම්..මතකයි නේද?"


    ඒක අහලා එයාටයි මටයි දෙන්නටම හිනා ගියා.මොකද අපි දෙන්නම අඳුනන්නැති ගාණට කතා කළාට , එයත් මං ගැන තරමක් හරි මතක තියාගත්තු විත්තිය මට වගේම එයාටත් තේරුම් ගියා.


  "ඉතිං ඔයාගෙ නම කිව්වේ නෑනෙ මට"
   
    එයා හිනාවීගෙනම මගෙන් අහනවා.ඒ හිනාවට අදටත් මම ආසයි.ඒ ලස්සන ඇස් කොහොම අමතක කරන්නද?හිනාවෙනකොට ඒ සුදු මූණේ තිබ්බ අහිංසකකම....





  "මම කසුන්"


  ඒ ලස්සන සුරංගනාවිට මම උත්තර දුන්නා.....


 ***

     ඔන්න ඔහොමයි මම මුලින්ම සඳුනිත් එක්ක කතා කලේ.මම නොහිතපු ඒත් මම පතපු විදියටම එයා මගෙ ලඟට ආපහු ආවා.ඒක හරිම පුදුමයි.ඒත් , කාව හරි හම්බවෙන්න තියෙනවනං , අනිවාර්යයෙන්ම එයාව හම්බෙනවා කියන කතාව ඇත්ත කියල මට එදා හිතුණා.

     එදා ඉඳන් අපි දෙන්නා යාළුවෝ විදියට ගොඩාක් ලංවුණා.හැමදාමත් සෙනසුරාදට පංතියේදි හම්බවෙලා කතාබහ කළා. පංති ඉවර වෙලා එකට බස් හෝල්ට් එකට ඇවිද්දා.ඒ අතරේ ගොඩාක් දේවල් කතාබහ කළා.ජීවිතේ ගැන , මිනිස්සු ගැන, අපි දෙන්නා කතාකළා.

     හැබැයි අපි එකතුවුණේ මිතුරන් විදියටයි.කතාබහ කලේ මිතුරන් විදියටයි.මගේ හිතේ එයා ගැන තිබ්බේ මිතුරු බැඳීමක් විතරයි කියල කියන්න මට බැහැ.ඒත් ආදරේ කියන දේ හුඟාක් දුරයි කියල මට හිතුණා.අනික මිතුරෝ විදියට ඉඳලා දෙන්නා හොඳටම අඳුනගෙන ඊටපස්සේ ආදරේ කරන එක හොඳයි කියලයි මට හිතුණේ.ඒ නිසා මම වැඩිපුර දෙයක් සඳුනිගෙන් බලාපොරොත්තු වුණේ නැහැ,තිබුණු ලෙංගතු මිත්‍රත්වය හැරෙන්නට.එයත් කවමදාවත් මගෙං එහෙම දෙයක් බලාපොරොත්තු වුණා කියල ඉඟිකළෙත් නැහැ.


    දැන් මට හිනා වෙන්න එපා,ඒත් ආදරේ කියන්නේ මිත්‍රත්වයෙන් ගොඩාක් දුර ගියපු දෙයක්.ඒත් හුඟාක් දෙනෙක් මිත්‍රත්වය කියන දේ වරදවා වටහාගන්නව ආදරේ කියලා.ඒ වැරැද්ද නිසා පස්සෙ කාලෙක හුඟක් දෙනෙක් දුක් විඳිනවා මම දැකලා තියෙනවා.ඉතිං ඒ නිසා සඳුනි මං ගාවට එනකං බලං හිටියා වගේම , එයාගේ ආදරේ ලබන්න තරං මම වාසනාවන්ත වේවිදෝ කියලා මම බලං හිටියා.

     දවසක්දා ඒ මොහොත මාව හොයාගෙන ආවා.ඒත් ඒ මම නොහිතපු විදියකට.

***


     හැමදාමත් වගේ මමයි සඳුනියි පංති ඉවරවෙලා ගාළු කොටුව ලඟ බස් හෝල්ට් එකට ගියා.

        "කසුන් , යමුද අපි කොටුවට ? මට ආසයි ටිකක් වෙලා මුහුද දිහා බලං ඉන්න , ඔයත් එක්ක ටිකක් කතා කරන්න , නිදහසේ."
     අකමැතිවෙන්න හේතුවක් තිබුණේ නැහැ.මමත් සඳුනිත් එක්ක නිදහසේ කතාකරන්න ඕනිකමින් තමයි හිටියේ.අපි දෙන්නා ගාළුකොටුවට ඇවිද්දා.ගිහිල්ලා මුහුද අයිනේ තිබ්බ බංකුවක වාඩිවුණා.සඳුනි මුහුද දිහා බලං හිටියේ පොඩි එකෙක් වගේ.මුහුදු සුලඟට එයාගේ ලස්සන කොන්ඩේ ලතාවකට ගැස්සෙනවා.


"කසුන් , ඔයාගෙන් මම දෙයක් අහන්නද?"

මගෙ හිතේ ගැස්ම වැඩිවුණා.මම බලං හිතපු මොහොතද මේ ?

"අහන්න සඳුනි "


" කසුන් , ඔයා කවදාහරි කෙල්ලෙක්ට ආදරේ කරලා තියෙනවද ? "

    සඳුනි මගෙ ඇස් දෙකට එබිකං කරගෙන ඇහුවා.ඒ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන මම සඳුනිට ඇත්තම කිව්වා.

"මම හිතනවා කවදහරි මගේ ආදරේ මාව හොයාගෙන ඒවි කියලා.ඒ මොහොත එනකං මම බලං ඉන්නවා.සමහරවිට ඒ ආදරේ මට කවදාවත්ම නොලැබෙන්නත් පුලුවනි,ඒත් මම බලං ඉන්නවා සඳුනි."

           සඳුනිගේ ඇස් වලින් මගේ ඇස් අමාරුවෙන් අයින් කරගත්තු මම ඈත මුහුද දිහා බලාගත්තා.මොහොතකට අපි දෙන්නම නිහඬ වුණා.

"ඔයා මට ආදරේ කරනවද කසුන් ?"

     ඒ ප්‍රශ්නෙට මාව ගැස්සුනා.මගේ හිත මොහොතකට නතරවුණා වගේ දැනුනා.සඳුනි අහපු ඒ ප්‍රශ්නේ ඉස්සරහ මම මොහොතකට නිරුත්තර වුණා.

-මතු සම්බන්ධයි-

Sunday, June 6, 2010

වැටි වැටී නැගිටපන්!

 ~~ වැටි වැටී නැගිටපන්! ~~

උඹ හිටගන්න හදනකොට
ඇදගෙන වැටේවී
මහපොලොවට
අනේක වාරයක්

ඒත් සැලෙන්නෙපා
හිතට වීරිය අරන්
ආයෙමත් නැගිටපන්

සමහරු හිනාවේවී
ගණන් ගන්නෙපා
තඹ සතේකට
උං හිතන් ඉන්නේ
කවදාවත්ම උං
වැටෙන්නේ නෑ කියලා!

ඒත් උන්ට අමතකයි
ඇවිදින්න කලින්
කීපාරක්
දණගාපු , බඩගාපු අයද
අද ඇවිදින්නේ කියලා

ඒ නිසා,
ලෝකෙම හිනා වුණත්
උඹ බය නොවී
වැටි වැටී
නැගිටපන්!

කවදාහරි උඹේම දෙපයින්
මහපොලව උඩ
හිටගෙන ඉන්න පුළුවන් වෙනකන්ම!

උඹට ජය!!

Saturday, June 5, 2010

නුඹ..

 ~~~~~~ නුඹ ~~~~~~

පිපුනු මලකට
සුවඳ මෙනි නුඹ
සිඳුනු ගඟකට
පැන් පොදකි නුඹ
අඳුරු අහසට
සඳක් මෙනි නුඹ
වියලි කතරට
වැසි දියයි නුඹ

මගේ දිවියේ
හුස්ම පොද නුඹ.....





මවක නැතිකල
මවකි මට නුඹ
සොයුරු පෙම දුන්
සොයුරියකි නුඹ
කඳුළු පිසදා
සතුට දුන් නුඹ
මිතුරු පෙම ගැන
කියාදුන් නුඹ

 හදවතේ මගෙ
ගැස්ම වූ නුඹ,

රැඳෙනු මැන
දිවිතුරා මා ලඟ.....