Monday, May 31, 2010

මාරයා

~~~~     මාරයා    ~~~~

අත වනයි


විටෙක ලංවෙයි
විටෙක දුරස් වෙයි


එනමුදු
හැර නොයයි


යම් දිනක


ඔහු
ජය ලබයි


මා පරදියි...


ඔබ??


Sunday, May 30, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 02 -

     මම එදා ගෙදර ගියේ සඳුනි ගැන හිත හිතා,හීන මව මවා.ඒ හීන ලස්සනයි.
     කොහොමත් , සැබෑ ලෝකෙට වඩා හීන ලෝක ලස්සනයි , සුන්දරයි.සැබෑ ලෝකේ වගේ නෙවෙයිනේ.හීන ලෝක වලදි හැමදේම සිද්ධ වෙන්නෙ අපිට ඕනි විදියට විතරමයිනේ.ඒත් ඒ හැමදේම , බොහෝවිට හීන වලටම විතරක් සීමා වෙනවා.එතකොටයි අපිට දුක හිතෙන්නේ.


     හ්ම්...
     සඳුනි...ඇත්තටම මට ඔයා හීනයක් විතරයි.අහම්බෙන් හම්බුණු සුරංගනාවියක්.
   
    ගෙදර ගිහින් ඇඟ පත හෝදගන්නවත් හිතුනෙ නැහැ,කෙලින්ම ගියේ ඇඳට.ඇස් පියාගත්තු ගමන් පේන්නේ ඒ ලස්සන ඇස් දෙක විතරමයි.එයා මගේ හිත ඇතුලෙ ඇවිදිනවා.ඒ අහිංසක හිනාව,ඒ ගමන , ඒ ලස්සන , කොහොම අමතක කරන්නද....


ඔය කෝල ඇස්
මා නෙත් මානෙමයි...
සුකොමාල බැල්මන්
මා සිත් නිවයි...

තරු බෝම ඈතයි
ඔබ මා ලඟයි...
තනිකම මකයි
ඔබ මට තනි රකියි...

        මගේ හිත සිංදුවක් මුමුණනව.හැබැයි මම අදටත් දන්නේ නෑ ඇයි මම එක මොහොතකට දැකපු ඒ ඇස් දෙක ලඟ මගේ හිත නතර උනේ කියලා.සමහරවිට හැමෝගෙම ජීවිතවල එහෙම වුණ වෙලාවල් ඇති.ජීවිතේ වෙන මේ වගේ සමහර දේවල් හරිම පුදුමයි.ඒවට හේතුවක් හොයාගන්නත් හරිම අමාරුයි.


  මට ආපහු සඳුනිව හම්බුවෙන්න ඕනි කියල දැනුනා.ඒත් ඒ කොහොමද,කොහෙදිද කියල මම දැනං හිටියේ නැහැ.හැබැයි මම ඒ දවස එනකං බලං හිටියා ; එහෙම දවසක් එයි කියලා හිතෙං හිතුවා.


*****

     " ආ !! කසුන්.උඹ මොකද මේ පැත්තේ ?අළුතෙන්ද මේ පංතියට ආවේ?මීට කලිං උඹව දැකලා නෑනේ මෙහෙදි අපි"

    අපේ ඉස්කෝලේ යාළුවෙක් මගෙං එහෙම ඇහුවේ ගාල්ලේ ටවුන් එකේ තියෙන කොමර්ස් පංතියට මම අළුතෙන්ම ගිය දවසේ.ඒ වෙනකොට උසස් පෙළ පටන් අරන් මාස හයක් හතක් ගිහිල්ලා තිබුණත් , මට හරියට කොමර්ස් පංතියක් හිතට අල්ලලා තිබ්බේ නැහැ.

    "ඔව් සමීර,අද තමයි පළවෙනි දවස.තාම හරි හමං ක්ලාස් එකක් සෙට් උනේ නෑ බං"

     අපේ කතාව අතරේ , අපිට එහා පැත්තේ පේලියට ගෑණු ලමයි ටිකක් ආවා වාඩිවෙන්න.මම හිටියේ අපේ බංකුවේ දකුණු පැත්තේ කෙළවරේ.ඊට එහා පත්තේ තමයි ගෑණු ලමයින්ගේ බංකු තිබ්බේ.පේලි අතරේ වැඩි ඉඩක් නොතිබ්බ නිසා එහා පැත්තේ වාඩිවෙන්න ආපු ගෑණු ළමයෙක්ගේ බෑග් එකක් හදිසියේම මගෙ මූණේ වැදුණා.

    "සොරී...."

   මුන් ඉතින් ඕනි එකක් කරල , "සොරීඊඊඊඊ...." කියල ශේප් වෙනවා!!!මොකාද දැන් සොරී කියල  ශේප් වෙන්න හදන්නේ කියල බලන්න මම ඒ දිහාවට හැරුණා.

   "සඳුනි...........!!!"
   ඔව්,එයාම තමයි!!මට දෑස් අදහගන්න බැරිවුණා.මාව දැකපු ගමන් එයාවත් තිගැස්සුණා කියලා මට දැනුණා.

   "ආ..! ඉට්ස් ඕකේ"

     මම බොහෝම අමාරුවෙන් වචන ගොනුකරලා කතා කළා.මම හිනා උනාද කියල මතක නං නෑ,මොකද ඒ වෙලාවේ මම ඒ තරංම තිගැස්සිලයි හිටියේ ඒත් එයා මාත් එක්ක යන්තං හිනාවේගෙන මට එහා පැත්තේ බංකුවෙන් වාඩිවුණා.සමහරවිට මාව අඳුනගන්න ඇති.

    මම පතපු හීනේ සැබෑ උණා.එයාව මට ආපහු හම්බවුණා!!!මගේ හිතට ඇතිවුණු සතුට....හරියට මුළු ලෝකෙම මට හම්බුණා වගේ.ඒ සතුටයි , සඳුනි මගෙ ලඟම එහා පැත්තේ වාඩිවෙලා උන්නු නිසා ඇතිවෙච්ච තිගැස්මයි නිසා පංතියේ ඉන්ටවල් දෙනකංම මට හිත එක්තැන් කරගෙන පාඩම අහගන්න බැරිවුණා.මගේ හිත තිබ්බේ මං ගාව නෙවෙයි,සඳුනි ගාව.

    "යන්නැද්ද කසුන් මුකුත් කාල එන්න?"

   සමීරගේ කටහඬින් තමයි මම කොහෙද ඉන්නේ කියල මතක් වුණේ.

   "සමීර,මගේ ඔළුව ටිකක් රිදෙනව වගේ.මං පන්තියට වෙලා ඉන්නං , උඹලා ගිහිං වරෙන් "
   මං බොරුවක් කිව්වා.වෙන හේතුවක් නිසා නෙවෙයි,සඳුනිත් එක්ක කතා කරන්න පුදුම ආසාවක් මගේ හිත ඇතුළෙන් මතු වෙවී තිබුණු නිසා.
      මගේ යාළුවෝ ටික එලියට ගියා.ඒත් සඳුනිගේ යාළුවෝ ටික එයා වටේම ඉඳගෙන කච කචේ.ටික වෙලාවකින් එයාගේ යාළුවොත් එලියට යනවා මම දැක්කා.

     පුදුමයි!!!සඳුනි යාළුවොත් එක්ක ගියේ නෑ!

      එයා ඩෙස්ක් එකට ඔළුව තියාගන්නවා මම දැක්කා.සමහරවිට ඔළුව රිදෙනව ඇති.එයත් එක්ක කතා කරන්න ආසාවෙන් හිටිය මට,මීට වඩා හොඳ අවස්ථාවක් නොලැබෙන බව මට තේරුණා.මොකද එයාගේ මාර සේනාව ; "යාළුවෝ ටික" එයාව වටකරගත්තු ගමන්මනේ කොයි වෙලෙත්!!!

      පංතිය ඇතුළේ කෙල්ලො , කොල්ලෝ කතාකරනවා මට ඇහෙනවා.ඒ හැමෝම එයාලගේ ලෝකවල තනිවෙලා.සඳුනි එක්ක කතා කරන්න ඕනි වුණාට , හිත ඇතුලේ තිබ්බේ පුදුම චකිතයක්.මගෙ පපුව ගැහෙන සද්දේ,මටම ඇහෙනවා!!අන්තිමට හිතේ තිබුණු හැම දහිරියම එකතු කරලා මම එයාට කතා කළා.


"එක්ස්කියුස් මී......"

  -මතු සම්බන්ධයි-

Thursday, May 27, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 01 -

       ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.මොහොතින් මොහොත වෙනස්වෙන ජීවිතේ හරියට ගලන ගඟක් වගේ.අපිට ජීවිතේදි අත්විඳින්න සිද්ධවෙන දුක,සතුට,වේදනාව ....  මේ හැමදේම පුදුම ඉක්මනින් වෙනස් වෙනවා.මේ බව අඳුනගත්තු මිනිස්සු ජීවිත කාලයම සතුටින්,මැදහත් සිතින් විඳිනවා.ඒත් ඒ බව නොදන්න තවත් සමහරු, මුළු ජීවිතේම විඳවනවා.

       ජීවිතේ විඳිමින් උන්නු මමත් , අද ජීවිතේ විඳවනවා.සතුටින්,සෙනෙහසින්,සිනහවෙන් පිරිලා තිබුණු මගේ ආත්මය අද දුකින්,කඳුලින්,සුසුමින් පිරිලා ඉතිරිලා ගිහින්.ඒ මට අහිමිවුණු, මගේම ජීවිතේ නිසා.
       ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.මගේම ජීවිතේටත් වඩා මම එයාට ආදරේ කලා.අවුරුදු ගාණක් ලං වෙලා නොහිටියට , අපේ ආදරේ තුල ඇතිවුණේ ආත්මීය බැඳීමක්.සමහරවිට ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති.

       ඉතිං ඒ කඳුළු කතාව පෑන් තුඩෙන් සිත්තම් කරන්න මම ඉටා ගත්තේ , අපේ ආදර කතාව ලෝකටම ඇහෙන්න කෑ ගහල කියන්න මට ඕනි වුණු නිසා.
      ගාළු කොටුවේ බංකුවක් උඩ තනිවෙච්ච මම,මගේ කතාව මෙහෙම ලියන්නං.....

------------------------------------------------------------------------------------------------------------

     මගේ මේ කඳුළු කතාවේ පුංචි කුමාරි "සඳුනි".
    
     එයාව මට මුලින්ම හම්බුණේ අපේ ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකදි.එදා ඒ ප්‍රදර්ශනේ බලන්න පිට ඉස්කෝල සෑහෙන ගානකිං ළමයි ආවා.ඉතිං ඔය අතරේ හිටපු එක අහිංසක ඇස් දෙකක් ලඟ , මගේ හිත ටිකකට නතර වුණා.
 
     කොන්ඩෙ කරල් දෙකට ගොතලා,සුදු පාට රැළි තුනේ ගවුමට නිල් පාට ටයි එකක් දාල හිටපු එයා,එයාගේ යාළුවෝ ටිකත් එක්ක පුදුම සතුටකින් හිටියේ.ඒ ලස්සන සුදු මූණ පුරාවට පිරිලා තිබුණු ඒ අහිංසක හිනාව....ඒ නිල්පාට ඇස්වල තිබුණු එළිය.... ,ඇත්තමයි වචන වලින් විස්තර කරන්න බැරි තරං ලස්සනක්.
     එයා මගේ ලඟ නැති උණත් අදටත් ඒ ඇස්වල ලස්සන , මගේ හිත කොනිත්තනවා.

     එයා , එයාගේ යාළුවෝ ටිකත් එක්ක අපේ ප්‍රදර්ශන භාණ්ඩ තිබුණු ඉසව්වට කිට්ටු වුණා.ඒ බව දැකලා මගේ හිතේ ගැස්ම වැඩි වුණේ මටත් නොකියාමයි.

       "අනේ බලන්නකෝ සඳුනි , මෙයා බයවෙලා වගේ ඔයා දිහා බලං ඉන්න හැට්"

    මගේ සිහින ලෝකේ චාරිකාව නිමා වුණේ එයාගේ යාළුවෙක් මාව පෙන්නලා කරපු විහිළුව නිසා.මාව සීතල වුණා.ලැජ්ජාව වැඩි වුණත් ඒ ලස්සන ඇස් දෙකෙන් , මගේ ඇස් දෙක අයින් කරගන්න මගේ හිත මට ඉඩ දුන්නේම නැහැ.

     "කෙල්ලො දැකල නැතුව වගේනේ බලන්නේ ; මාර කුකුළෙක් වගේ.පරිස්සමෙන් සඳුනි"

     ඒ පාර තවත් ඇනුම් පදයක්.මේ කෙල්ලන්ගේ කටවල් නං හොඳටම වැඩියි.හැබැයි ඒ දඟකාර කටවල් වලට පිං සිද්ධවෙන්න , මම එයාගේ නම දැනගත්තා ; " සඳුනි ....."

      මම එයා දිහා බලං හිටියා වැඩියි කියලා මට තෙරුණේ ටික වෙලාවක් ගියාමයි.මම හෙමිහිට බිම බලාගත්තේ හිතේ ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න හිතාගෙන.සඳුනිත් වැඩි කතාවක් බහක් නැති කෙල්ලෙක් කියලා එයාගේ හැසිරීමෙන්ම මට දැනුණා.ඒකටත් එක්ක එයාගෙ යාළුවෝ ටික!!!!

    ආයෙමත් ඔළුව උස්සලා බලද්දී සඳුනිත් යාළුවන්ගේ කතාවට හිනා වෙනවා.හැබැයි ඒ හිනාව සමච්චලයකටනං නෙවෙයි.නෑ!ඒ තරං අහිංසක කෙනෙකුට , කාටවත් සමච්චල් කරන්න බැහැ.ලැජ්ජාව නිසාද කොහෙද , එයත් බිම බලාගන්නවා මම දැක්කා.


පරදවන
 නිල් තරු
 ලස්සනයි
ඔය නෙතු..


සිනාසෙන
මුතු කැට


සඳක් වන්
ඔය වත


පරදවන
සුරඟන
නිවාලයි
මා සිත..

   අපේ ප්‍රදර්ශන කුටිය පුරාම එයා ,යාළුවොත් එක්ක ඇවිද්දා.ඒ හැම තත්පරයක් පාසාම මගේ ඇහැ,හිතත් එක්කම එයාවම ලුහුබැන්දා.

   
      මගේ වයසේ වෙනත් පිරිමි ළමයි කරන විදියට එයාගෙ පස්සෙන් ගිහින් එයා එක්ක කතා කරන්නවත් , මගේ ටෙලිෆෝන් නොම්මරය එයාට දෙන්නවත් ඕනි කියලා මට හිතුනේ නැහැ.මොකද ඒ වෙලාවේ මගේ හිතේ ඇති වුණේ උමතු ආදරයක් නෙවෙයි.ඒත්, අනේ මංදා.හිත හෙල්ලුනා , කවදාවත්ම නොවෙච්ච තරං.

       "සමහරවිට ගිය ආත්මේ මම ලඟින් ආශ්‍රය කරපු කෙනෙක් වෙන්න ඇති" ,

       එහෙම හිතලා මම සැනසුණා.

       ඒත් ඒ ලස්සන , ඒ හිනාව , ඒ ගමන .... මගේ හිතේ තැන්පත් වුණා.

       "සඳුනි............"


 - මතු සම්බන්ධයි -

අහිමි සෙනෙහස

අහිමි සෙනෙහසට පෙරවදනක්............

මේක මගේ කතාව...

ඔව් , මගේම කතාව...

මට අහිමි වුණු මගේම ජීවිතය ගැන කතාව.....
මගේ ජීවිතෙන් හිනාව,සතුට උදුරගත්තු කතාව.....

හිතේ තිබුණු සැනසීම නැතිවෙච්ච කතාව....
හිතට දුක , කඳුළු ගෙනාපු කතාව....

-ඇයි මම මේක කියන්නේ?-
-කාට ඇහෙන්නද?-

එහෙම හිතෙනවද?

හ්ම්..
ඇත්ත,
මගේ කතාව අහන්න කවුරුත්ම නැහැ.

ඒත් කාටහරි පේන්න ලියන්නයි ඕන.

ලියල හිත සැහැල්ලු කරගන්න....

විහිළුවක්!!!

ඒක එහෙම වෙන්නෙ නෑ කියල මගෙ හිතම දන්නව,
ඒත් මම ලියනව කියල හිතාගෙන ඉවරයි.
කවුරු හරි කියවයිනේ.

හැබැයි මං ගැන දුක හිතන්න එපා!
මොකද මං ගැන දුක් වෙලා ඵලක් නැහැ.

-හැමදාමත් දුක්විඳින
-මැරි මැරී උපදින
-මම

-කසුන් -

යහපත් දවසක යහපත් වැඩක්.......

    ඔන්න අද යහපත් දවසක , යහපත් වැඩකට අත ගහන්නයි හදන්නේ.

    මගේ උසස්පෙළ ව්‍යාපෘතිය විදියට මම කලේ පොඩී, කෙටී නවකතාවක් ලියපු එක කියල මම මගේ ගමන පිටුවෙදි කිව්වනේ.මට හිතුණා මොනව උණත් ඒ නිර්මාණයෙන්ම මගේ කතා පොතේ කතා ඇරඹුම ගත්තානං හොඳයි කියලා.

    හැබැයි තව දෙයක් කියන්න ඕනි , මම මේ විදියට කතා පොත පටං ගත්තේ මගේ ආත්ම තෘප්තිය උදෙසා මිසක්,වෙනත් දෙයක් උදෙසා නෙවෙයි කියලා මතක් කරන්න ඕනි.

    අනිත් දේ තමයි , මෙතන ලියවෙන හැමදේම මම නිර්මාණය කරපුවා.මේවා මගේ පෞද්ගලික අත්දැකීම් නෙවෙයි සහ කොහෙන්වත් හොරකං කරපුවාත් නෙවෙයි.

     (ඒත් මෙතනදි ලියවෙන කවි,නිසඳැස් සමහරක් මගේ ජීවිතේදි ඇත්තට ලියවුණු ඒවා)

   එහෙනං ඉතිං,මට ජය වේවා!!!!

( මට නෙවෙයි , මේ කතාවල ඉන්න කතා නායකයන්ට ජය වේවා!!! )

Wednesday, May 26, 2010

දැන් මගෙන් අහන්න එපා ....................!!!!!!!!!!!!!!!!!!!!!!!!

දැන් මගෙන් අහන්න එපා , " මේ කතා පොතේ, කවිනේ ( වැල් බයිලා ) ඕයි තියෙන්නේ , ඇයි ඒ??? " කියලා!!!

ඇයි කියල මමවත් දන්නේ නෑ.

කතා ලියමු හිමීට.

අනික අපිට නොදැනුනාට , කවි , නිසඳැස් වල තියෙන්නෙත් හිතන්න බැරි තරම් ගැඹුරක් තියෙන කතා.
( කියෙව්වට කමක් නෑ , ඕවායේ ගිලිලා මැරෙන්න එපා )

පිස්සු!!!

~~~~~~ පිස්සු!!! ~~~~~~

මම පිස්සෙක්ද?

ඔව්

ඇයි ඒ?

නිකං

උඹට පිස්සු!!!

ඔව්

අයි ඒ??

දන්නෙ නෑ
අහපං
තවත් පිස්සෙක්ගෙන්ම

යාළුවෙක් කිව්වා............

~~~~~~~~~~ යාළුවෙක් කිව්වා ~~~~~~~~~~

යාළුවෙක් කිව්වා

ලියපං කියලා
මට....

ඌ කියවන්නං ලු
කවි,කතා

ඒ හින්දා

ඔන්න මම ලියනවා

කියවලා
බලපං

හොඳද කියලා....

Saturday, May 22, 2010

මම බලං ඉන්නවා , තාමත් ….

~~~~~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~~~~

ඔයා එනකං බලං ඉඳලා
ඇස් දෙක රිදෙනවා
තෙහෙට්ටුයි
මහන්සියි

ඒත්

තවමත් බලං ඉන්නවා
පරණ , පුරුදු
ආදරෙත් අරගෙන
ඔයා එනකං…..

හුරතල් කතාවක් කියන්න,
මාව හිනස්සන්න,
මගේ දුක නැති කරන්න,
එන්න ආපහු
මගේ පාළු ලෝකෙට…..

එනව නේද ඔයා ?
මම බලං ඉන්නවා
තාමත්….

Thursday, May 20, 2010