Saturday, January 11, 2014

ජීවිතේ ඇත්ත...



          උතුම් වූ සමාජ සත්කාරයන් වෙනුවෙන් සැම විටම පෙනී සිටින IMCD හෙවත් සමාජයීය සංවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර එකමුතුව පසු ගිය දිනක (2013 දෙසැම්බර් 28 සෙනසුරාදා) තවත් අපූරු වැඩකට සම්බන්ධ වුනා.සමාජයේ කාටත් අමතක වෙලා , තමන්ගේ ලෝකෙක පාලුවෙන් තනි වෙලා ඉන්න අපේම ආදරණීය සහෝදර සහෝදරියන් සහ වැඩිහිටියන් පිරිසක් සොයාගෙන ගිහින් , ඔවුන් එක්ක එකතු වෙලා නත්තල් අසිරිය බෙදා හදා ගනිමින් ඔවුන් සමඟ විනොදවෙමින් සම්පුර්ණ දිනයක් පුරාවට ඔවුන්ගේ දුක සැප බෙදා හදාගනිමින් සහ ඔවුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය ලබාදෙමින් අපට හැකි පමණින් ඔවුන්ට උදව්වක් උපකාරයක් කිරීම තමයි ඒ අපුරු වූ සත්කාරක වැඩසටහනේ අරමුණ වුනේ..

 මේ සුවිශේෂී වැඩසටහනත් එක්ක සම්බන්ධවෙන්න, IMCD සංවිධානයේ මිතුරු මිතුරියන් එක්ක කළුතර,කටුකුරුන්ද මාක් ශ්‍රී ළමා/වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත වුවන්ගේ නිවසට ගොඩ වෙන්නට ,මටත් අවස්ථාවක් ලැබුනා.දිනයක් පුරාවට පැවැත්වුණු වැඩසටහන ;  එම ස්ථානය සහ අවට පරිසරය පිරිසිදු කිරීම , එම ස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය හා එක්ව, එහි නේවාසික සාමාජික, සාමාජිකාවන්ට අවශ්‍ය දිවා අහාරය සුදානම් කිරීම සහ ඒවා ඔවුන්ට පිළිගැන්වීම , ඔවුන්ට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ රාශියක් ප්‍රදානය කිරීම සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වා ඔවුන් සමඟ එක්ව ගී ගයමින් සහ නටමින් විනෝදවීම යන අංග රැසකින් පරිපුර්ණ වෙලා තිබුනා.

මේ හැමදේම ඉවර වෙලා රෝද පුටුවලින් ගමන් ගත්තු කිහිප දෙනෙක්ව ඔවුන්ගේ අදාළ නිවස්න වෙත රැගෙන ගිය වෙලාවේදී අහම්බෙන් වගේ මට කතා බහ කරන්නට ලැබුනා අපුරු පුද්ගලයෙකු එක්ක...

ඔහු නමින් නිහාල්.

රෝද පුටුව අදාළ ස්ථානයෙන් නැවැත්තුවාට පස්සේ , මේ නිහාල් කියන පුදගලයා අපුරු ඉල්ලීමක් කළා.."මල්ලි , විනාඩියක් ඉන්න පුලුවන්ද?" , ඒ වෙලාව වෙද්දී අපි හැමෝම ආපහු ගෙවල් වලට යන හදිසියේ හිටියත් , ඔහුගේ ඉල්ලීම අහක දාන්නට මට පුළුවන් වුනේ නැහැ..

ලැබුණු අවසරයෙන් නිහාල් අයියා,කොහේදෝතිබුණු කොපි පොත් දෙකක් අරගත්තා.. 

"මේ පොත් දෙක පුරාවටම තියෙන්නේ මම ලියපු කවි , සින්දු මල්ලී..."

 හිතේ තිබුණු කලබලය පැත්තකින් තියලා මමත් ඒ පොත් දෙක පුරාවට ලියවිලා තිබුණු දේවල් දිහාවට ඇස් යොමු කලේ මේ වගේ තැනකදී මේ වගේ අත්දැකීමක් ලැබෙයි කියලා හීනෙකින්වත් නොහිතපු නිසා සහ මගේ හිතේ තිබුණු කුතුහලය නිසා... ලියල තිබුණු කිසිම දෙයක් නිකරුනේ ලියවුනු දේවල් නෙවෙයි , අර්ථවත් වචන පේලියෙන් පේලිය ගලපලා , අපුරු රටාවකට ලියන්නට මේ අපුරු මිනිසාට හැකියාවක් තියෙන බව මට මොහොතකින් වැටහුනා.. 

 ඒත් බහුතර නිසඳැස් , කවි , සින්දු ගෙත්තම් වෙලා තිබුනේ හිතේ තියෙන මහා දුකක් නිවාගන්නට බැරිව දුක් විඳින අහිංසකයෙකුගේ අදහස් ,සිතිවලි වලින් කියලා මට දැනුනා..

"අයියේ , මේ ලියලා තියෙන දේවල් අයියගේ ජීවිතේට සම්බන්ධ දේවල් ද ?" මම නිකමට වගේ ඇහුවා...


 නිහාල් අයියාගේ ඇස් බිමට හැරුනා... මම ඇහුවේ ,අහන්නට සුදුසු නැති ප්‍රශ්නයක්දෝ කියලා මගේ හිත මට දොස් කිව්වා...

"සොරි අයියේ , මම හිත රිද්දන්න අදහස් කලේ නැහැ...ඒත්...." මගේ වාක්‍ය ඉවර කරගන්නට කලින්ම නිහාල් අයියා කතා කළා... 

"නැහැ .. මල්ලිගෙන් වරදක් වුනේ නැහැ.. මට මගේ පොඩි කොලු පැටියව මතක් වුනා ..."

"ඒ කියන්නේ අයියා බැඳලද?"

 ඒ මූනට ආවේ දුක පිරුණු මදහසක්..


"මම බැඳලා , ළමයි තුන් දෙනෙක් ඉන්නවා ... කොල්ලයි , කෙල්ලෝ දෙන්නයි..."

"ඉතින් මොකද අයියට වුනේ?" මට ලොකු ප්‍රශ්නයක්..

"මම කලේ මේසන් වැඩ ... මීට අවුරුදු ගානකට කලින් උඩ තට්ටුවක වැඩක් කර කර ඉද්දි මාව ලිස්සලා බිමට වැටිලා මගේ ඉනෙන් පහල පණ නැතිවුනා ..."

"එතකොට දැන්, අයියගේ ළමයි?"

"ඉන්නවා .. මගේ වයිෆ් එක්ක.."


"එයාල අයියව බලන්න එන්නේ නැද්ද?"

දිග හුස්මක් ගත්තු නිහාල් අයියා මෙහෙම කිව්වේ බොහොම දුකකින්...

"මම වැටිලා අසරණ වුනු වෙලාවේ , මගේ වයිෆ් මාව දාල ගියා ... එයා වෙන කෙනෙක්ව බැඳලා ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්නවා ...මාව බලෙන්ම අමතක කරලා දාලා දැන්... මගේ ළමයි ටිකවත් බලන්න මට ඉඩක් නැහැ මල්ලි... "

කතාව මොහොතකට නතර වුනා... නිහාල් අයියා මොහොතකට නිහඬවුනා... 


"මට එයාලව ගොඩක් මතක් වෙනවා... ඒත් කරන්න දෙයක් නැහැ... හිතේ තියෙන දුක කියන්න කෙනෙකුත් නැහැ ... මුළු ලෝකෙම දිනාගන්න හීන දැකපු මට අන්තිමට මගේ ජීවිතේම නැති වුනා මල්ලි.."

 මොනවා කියන්නද මොනවා හිතන්නද කියලා මට තේරුනේ නැහැ...මොහොතකට මගේ හිතත් හිරි වැටුනා වගේ දැනුනා...

"ජීවිතේ ඔහොම තමයි අයියේ... අපි කවුරු වුනත් කොයි වේලාවේද දන්නේ නැහැනේ ..." ඔහුගේ හිත හැදෙන්න යමක් කියන්න ඕනි කියලා මට දැනුනු නිසා එහෙම කිව්වා...

"ඒක ඇත්ත... මට දැන් තියෙන්නේ එකම ආසවයි... මට ආසයි මම ලියන දෙයක් සින්දුවක් වෙලා එලි දකිනව නම්,එච්චරයි මට ඕනි මල්ලි.... "

එවලේ ලොකු උදව්වක් කරන්න ඔහුට පොරොන්දුවක් දෙන්න බැරි වුනත්,

"අයියා කැමතිම වචන ටික තියෙන සින්දු දෙක තුනක් මට තෝරලා දෙන්න .. මම බලන්නම් පුළුවන් දෙයක් කරන්න... " කියලා කිව්වේ මගේ මිතුරෝ කිහිප දෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලා දෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්...


නිහාල් අයියා එයාගේ පොතේ පිටු පෙරලගෙන ගිහින් එක තැනක නතරවුනා...,

"ජීවත් වන මා මැරුණු අයෙක් කලේ ඇයි මගේ පුතනුවනේ..
එහෙම කරන්නට නුඹේ ඔය හදවත ඉඩ දුන්නද පුතුනේ..."

ඔහුගේ වේදනාව ඒ හැම වචනයක් වචනයක් පාසාම සිත්තම් වෙලා තිබුනා...



තවත් වදන් පෙළක් ඔහු මට පෙන්නුවා,


"දෑඟිලි රන් හුන් 
බැඳුනද පැතු ලෙසින්

ඔබ මා වෙන් වුනේ
එක සිත් නැති පවින්..."

අවුරුදු ගානක් පෙරුම් පුරලා , තමන්ගේම කරගත්තු ඒ ආදරේ, අද වෙනකොට නිහාල් අයියට අහිමි වෙලා...තමන්ගේ පවුල නඩත්තු කරන්න මුදල් හොයන්න ගිහින් , තමන්ගේ මුළු ජීවිතේම ඔහුගේ ඇස් ඉස්සරහම නැති වෙලා... ජීවිතේ ගැන මවපු හීන මාලිගා හැමදෙයක්ම සුනු විසුනු වෙලා,තමන් ආදරේ කරපු හැමදෙයක්ම ඔහුට අහිමි වෙලා.... අද , නිහාල් අයියා තනියම , රෝද පුටුවක් උඩට වෙලා දුක් විඳිනවා...



නිහාල් අයියට සමුදීලා මම ආවේ හිතේ ලොකු බරක් දරාගෙන...ඒ නිහාල් අයියා අන්තිමට කියපු වචන ටිකක් නිසා... 

"අපි කාට වුනත් ඔච්චරයි ... ආදරේ,ජීවිතේ,සතුට මේ හැමදෙයක්ම තාවකාලිකයි... පන දෙන්නම් කියලා ඉන්න ගොඩ දෙනෙක්,අපිට කරදරයක් වුනාම , අපෙන් ඈත් වෙන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට ..."

ඒ වචන පේලිය කිසිම දවසක මට අමතක වෙන එකක් නැහැ... 


"ජීවිතේ අනිත්‍යයි... ඉතින් ආදරේ ගැන කවර කතා ද?"

ප.ලි. : නිහාල් අයියාගේ අතින්ම ලියවුනු සින්දු දෙකක මම ගත්තු පින්තූර දෙකක් තමයි මේ ලිපිය තුල දාලා තියෙන්නේ... 

මගේ එකම ඉල්ලීම ,නිහාල් අයියගේ එකම හීනේ වෙන ,මේ වචන සැබෑ ගීතයක් බවට පත් කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න...මම ඔහුව සම්බන්ධ කරගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම්...


5 comments:

  1. මචං! එදා අපි විඳපු අත්දැකීම් හැමෝගෙම ඇස් තෙත් කළා බං... අපි මේ සිහිනය සැබෑ කරමු.. කොහොම හරි...

    ReplyDelete
    Replies
    1. සිරාවටම මචන්... මම දෙතුන් දෙනෙක්ටම කිව්වා කතන්දරේ... බලමු මොකද වෙන්නේ කියලා...

      Delete
  2. ම්ම්ම්.....සින්දුවක් කරන්න...ම්ම්....
    කියන්නේ කවුද? ස්ටුඩියෝ එකක රෙකෝඩ් කරනකොට ඒකට 15000ක් විතර යනවා මියුසික් වලටත් එක්ක...ඒ සල්ලි????

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපිට දැනටමත් අවශ්‍ය සම්පත් එකතුවෙමින් පවතිනවා... :) ළඟදීම මේ අහිංසක බලාපොරොත්තුව අත්තක් කරන්න පුළුවන් වේවි :)

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය