Sunday, July 11, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 06 -

    
කලින් ලියපු කොටස් ටික මෙතනින් කියවන්න :

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 01 -

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 02 -

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 03 -

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 04 -

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 05 -

 

--------------------------------------------------------------------------------

 

මටත් මගේම කියලා සහෝදරයෙක්වත් සහෝදරියක්වත් හිටියේ නෑ.ඉතින් ඒ තනිකමට සඳුනි මගේම සහෝදරියක් වෙලා මගේ තනිකම රැක්කා.



     ඇත්ත ; සඳුනි මේ ආත්මෙදි මගේම සහෝදරියක් නොවුණට, පෙර භවයකදි අපි එක කුස උපන් දෙන්නෙක් වෙලා ඉන්න ඇති.සඳුනිව දැකපු මුල්ම වතාවේදි මට දැනෙන ඇත්තේ ඒ හැඟීම වෙන්න ඇති.


     ඒත් මේ හැමදේම වෙනස් වෙන්න ගතවුණේ බොහෝම කෙටි කාලයක්.අපි නොහිතපු,මම නොපතපු දවසක අපේ ජීවිත හොයාගෙන "අවාසනාව" ආවා.එදා ඉඳන් අපි අපේ ජීවිත විඳෙව්වා.ජීවිතේ පිරිලා ඉතිරිලා තිබුණු සතුට යටකරගෙන, අපේ ජීවිත කඳුළු වලින් පිරුනේ මේ සිදුවීමෙන් පස්සේ.


     උසස්පෙළ ඉවරවෙලා දවස් ටිකකට පස්සේ සඳුනි මට කෝල් කරලා කිව්වා මාත් එක්ක හුම්මානේ බලන්න යන්න ආසයි කියලා.විභාගේ හින්දා මාසයක් යනකන්ම මට සඳුනිව මුණ නොගැහිච්ච නිසා මාත් සඳුනිව හම්බෙන්න යන්න මොහොතක් එනකන් මඟ බලං තමයි හිටියේ.


    ඉතින් සඳුනියි මායි හුම්මානේ බලන්න යන්න පිටත්වුණා ඊලඟ දවසෙම.


    හවස් වෙනකොට එන්න පුලුවන් නිසා, මම ගෙදරට කිව්වේ මාතර යාළුවෙක්ගේ දිහෑ යනවා කියලා.සඳුනිනං පුංචි අම්මට මාත් එක්ක යන බව කියලා තිබ්බා.අපි දෙන්නා ගාල්ලෙන් බස් එකකට නැඟලා පිටිමපස්සේ සීට් එකෙන් වාඩිවුණා.සඳුනි මාත් එක්ක එදා ගොඩාක් දේවල් කියන්න ලෑස්තිවෙන බව මට තේරුණා.


---------------------------------------------------------------------------------------------------------

කසුන් ,


හොඳ මිතුරෙක් ලැබෙන්න,
ආත්ම ගානක්
පිං කරන්න ඕනි කිව්වට ,
ඔයා මගේ යාළුවෙක් වුණේ,
පුදුම කෙටි කාලෙකින්..

ඇත්තටම පුදුමයි!

ඒත් සමහර දේවල්
ඉක්මනට ලැබෙනකොට
ඒ ඉක්මනටම නැතිවෙනවා කියන්නෙත්,
ඇත්තම ඇත්තයි...

ඉතින් ඒ නිසා මට හම්බුණු ඔයා,
සමහරවිට මට ඉක්මනටම අහිමිවේවී,
ඒත් අපි එකට ගතකරපු මේ මතක,
හැමදාටම අපේ හිත්වල රැඳේවී නේද?

***

කවමදාවත් ඔය අහිංසකකම , ලස්සන හිනාව,
ආදරණීය මිත්‍රත්වය පාවා දෙන්න එපා.....
හැමදාමත් ඒ ලස්සන ඔය හිතේ තියාගන්න,

මොකද සමහරු ජීවිතෙන් පැනලා යන්න හදද්දී,
ඔය වගේ හිතක ලස්සන දැකලා,
ජීවිතේට ආයෙමත් ආදරේ කරන්න පටන් ගනීවී...

ඉතිං ඔය ලස්සන හිතෙන්,
මට ඔයා දුන්නු මිත්‍රත්වය නිසා ,
ආයෙමත් ජීවිතේ තුළ සැබෑවටම ජීවත්වෙන්න මම වරම් ලැබුවා....

ඔයා කලේ ලොකූම ලොකු පිනක් කසුන්.....


ඔයාගේම,

 සඳුනිගෙන් ...


------------------------------------------------------------------------------------------------------------


"ඉතින් කොහොමද විභාගේ කසුන්?" 

ඒ අහිංසකකම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ!
 
"විභාගේ තිබ්බා,මමත් ගිහින් ලිව්වා,විභාගේ ඉවරවුණා....එච්චරයි!" 

විහිළුවට වගේ මම කියෝගෙන ගියා.සඳුනිත් මගේ දිහා බලන් හිනාවෙවී ඉන්නවා.
"ඉතින් ඔයාට කොහොමද විභාගේ?"

"මටත් ඔච්චරම තමයි"
 
    අපි දෙන්නත් එක්ක හිනාවෙවී විභාගේ ගැනයි,පේපර්ස් ගැනයි කතා කලා දිගටම."අනාගතේ කරන්නේ මොනවද" , "ජීවිතේ මොන වගේ වෙනස් වෙයිද" , "අපි විභාගේ පාස් වෙයිද" ඕව තමයි අපි දෙන්නගේ මාතෘකා වුනේ.

     අපි දෙන්නටත් නොදැනීම බස් එක අපිවත් අරන් මාතරට ඇවිත් තිබුණා.මාතරින් බැහැගත්තු අපි දෙන්නා දික්වැල්ල හරහා හුම්මානෙට යන බස් එකකට ගොඩවුණා.බස් එකේ වාඩිවුණ ගමන් මෙච්චරවෙලා හිනාවෙවී කතාබහ කරපු සඳුනි මහාලොකු කල්පනාවක ගිළුනා.බස් එක ගමන පටං ගත්තා.

 "සඳුනි"

"ම්...."

"ඇයි හදිසියෙම කතා බහ නවත්තලා බර කල්පනාවක ගිළුණේ?"
ඒ ඇස් මං දිහා හෙමිහිට බැලුවා.

"කසුන්..."

"ම්..."

"මට ඇත්තටම දුකයි කසුන් ඔයා ගැන"

"ඇයි ඒ?"

     "මතකද ඔයා දවසක් මට කිව්වා ඔයා මට ඔයාගෙම නංගියෙක්ට වගේ ආදරෙයි , ඒ වුණත් කවදහරි මගේ ආදරේ ඔයාට වෙනත් විදියකට ලැබුනොත්,ඒක භාරගන්නත් කැමැත්තෙන් ඉන්නේ කියලා?ඔයා කිව්වේ ඒ දවස එනකන් ඔයා ඕනිම තරන් කාලයක් මඟ බලං ඉන්න ලෑස්තියි කියලයි.මතකද කසුන්?"

"හ්ම්...මතකයි සඳුනි.මම අදටත් හිතන්නේ ඒ විදියටමයි"

"අපි දෙන්නා අද වෙනකන්ම ආශ්‍රය කළේ යාළුවෝ විදියටයි කසුන්"
"හ්ම්.."

"දැන් විභාගෙත් ඉවර නිසා ඔයා සමහරවිට මගෙන් මිත්‍රත්වයෙන් එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙනවා ඇති කසුන්"
     සඳුනි ආයෙමත් මගේ දිහා බැලුවා.ඒ ඇස් දෙකෙන් මගේ ඇස් දෙක අයින් කරගන්න හිත ඉඩ දුන්නේ නෑ.සඳුනි කියාගෙන ගිය දේ මගේ හිතේ කොහේ හරි හැංගිලා තියෙන්න ඇති.ඒ නිසා සඳුනිගේ අහිංසක ඇස් ඉස්සරහා මම ආයෙමත් ගොළුවුණා.


"ඒක එහෙම නේද කසුන්?"

"ම්... ඇත්ත සඳුනි.එහෙම හිතපු එක වරදක්නං මට සමාවෙන්න.ඒත් කවදාවත්ම කෙල්ලෙක්ට මෙච්චර ලං වෙලා නැති මගේ ජීවිතේට ආපු එකම කෙල්ලත් ඔයා විතරයි.ඒ නිසා එහෙම හිතෙන එක පුදුමයක් නෙවෙයි සඳුනි"

"දන්නවා කසුන්.ඒකමයි අද මට ඔයා එක්ක මෙහෙම දුර ගමනක් තනියම එන්න ඕනි වුනේ.මොකද මට තියෙනවා දෙයක් ඔයාට කියන්න,මෙච්චරකල් මම ඔයාට නොකියපු"

"සඳුනි??" මට පුදුමෙන් කියවුනා.
"ඔයා කියන්න හදන්නේ මට කවදාවත් ඔයාගේ ජීවිතේට ආදරේ කරන්න බෑ කියලද?" 

මම මගේ හිතේ මෙච්චර කාලයක් තදකරන් උන්නු දේ සඳුනිගෙන් ඇහුවා.
සඳුනි හිමිහිට මගේ දිහා බැලුවා.ඒ ඇස්වල කඳුළු.
 
"සඳුනි?ඇයි මේ?"

"ඔ..ඔ...ඔයා පව් කසුන්..." සඳුනි ඉකිබිඳින්න පටන් ගත්තා.

"කසුන් මට සමා..වෙන්න කසුන්..."

"අඬන්න එපා සඳුනි.අපි ගිහින්ම කතාකරමු.නාඬා ඉන්න දැන්" 

සඳුනි එයාගේ මූණ මගෙ උරහිස්සට තියලා තදකරගත්තා.ජීවිතේ පලවෙනි වතාවට සඳුනිගේ කඳුළුවල උනුහුම මගේ උරහිසට දැනුනා.

 "නාඬා ඉන්න සඳුනි.."

 ඇයි සඳුනි මගෙන් සමාව ඉල්ලලා අඬන්නේ?සඳුනි කාටහරි කැමැත්ත දීලද?එහෙමත් නැත්තන් කවුරුහරි සඳුනිගෙන් බලෙන් කැමැත්ත ඉල්ලනවද?මොකක්ද වෙන්නේ කියලා මට හිතාගන්නවත් බැරිවුණා.

"ආ හුම්මානේ ගාවින් බහින්න...කට්ටිය බැහැගන්න... බැහැගන්න...."

කොන්දොස්තරගේ කටහඬින් අපි දෙන්නම පියවි ලෝකෙට ආවා.
    
සඳුනි කඳුළු පිහිද ගත්තා.ඒ ඇස් මාව මඟ අරිනවා.හරියට ලොකූ වරදක් කරලා පසුතැවෙනවා වගේ.

සඳුනියි මායි හෙමිහිට ඉස්සරහට ගිහින් බස් එකෙන් බැස්සා.

-මතු සම්බන්ධයි-

11 comments:

  1. අනේ ඉතුරු කොටසත් ඉක්මනටම දාන්නෝ.....
    නැත්නම් ඉවර වෙච්ච තැන මත්ක නෑ :f

    ReplyDelete
  2. @ කොඩී - කොල්ලෝ මම කැම්පස් ගියා කියල මතකද??එහෙ බෝඩ් වුණා කියලා මතකද??එහෙට ඉන්ටනෙට් නෑනේ මචෝ!ඒ නිසා සොරි වෙන්න ඕනි!ඒත් තව කොටසකින් මේක ඉවර වෙනවා.ඒ නිසා ඉවසපාන්!:a

    ReplyDelete
  3. අද කුතුහලය ටිකක් අඩුයි වගේනේ ..... :f

    ReplyDelete
  4. නෙතින් ගලා ගිය කඳුලක කැලලක් ඉතුරු වෙලා....


    අමුතුම සීන් එකක් වගේ.... අපි හිතුවෙ උබට කතාව ලියන එක අමතක වෙලා කියල.. වැඩ එක්ක අමාරු තමා.. පුලුවන් විදියට පරක්කු නොකර දාපන්.. ලස්සනයි ලියන විදිය උබ.

    ReplyDelete
  5. ඇඟටම වදින කතාවක්...!!!

    ReplyDelete
  6. කතාව ලියලා සමරකූන් අක්කටවත් දීල යන්න දාන්ඩ කියල :b
    හපො‍යී ලඟදිම ඉවර වෙනව ද :f

    ReplyDelete
  7. @ හිඟන්නා - ඔව් බන්.දැන් බිසී මානසිකත්වයක ඉන්නේ.එඩිට් කිරිල්ල නැගලා යන්නේ නෑ :b

    @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ - ස්තුතියි සහෝ! :a

    @ පිස්සා පලාමල්ල - ඔව් බන්...ගෙදර ආවම විතරයි නෙට් තියෙන්නේ...මේ සතියෙ ගෙදර, ඒ නිසා මේක ඉවරයක් කරන්නං! :a

    ReplyDelete
  8. @ ඔෂාන් - ස්තුතියි සහෝ!

    @ කොඩී - ඉවර වෙනව බං,දික් ගස්සල ලියන්න මානසිකත්වයක්වත් වෙලාවක්වත් නෑ බං.බිසී! :බ්

    කොහොමත් මේක මේ සතියේ ඉවර වෙයි.බය වෙන්නෙපා,ඉවර කරල තමයි ආයෙමත් බෝඩිමට යන්නේ :a

    ReplyDelete
  9. මේක හරියන්නෑ...කතාව ටිකක් දිගට දාන්න...නැත්නම් ඉක්මණට දාන්න....එහෙම නොකලොත් මම මාරාන්තික උපවාසයක් කරනවා..... :l

    ReplyDelete
  10. @ ෴ හසියා ෴ - ඉවසපාන්! :d

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය