Saturday, June 30, 2012

නිමක් නැති කතාවක්... පිටු අංක 05

~~ නිමක් නැති කතාවක්... පිටු අංක 05 ~~


නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < -

නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න < -






උදේ පාන්දරම අපේ පංති භාර මැඩම් ඇවිත් අපේ  පංතියට අළුතෙන් ආපු ළමයෙක්ව අපිට අඳුන්නල දුන්නා..... ළමයාගේ අම්මයි තාත්තයිද කොහෙද  පංතියේ දොර ගාව එලියට වෙලා ඉන්නවා....

"ඔයාලගේ පංතියට ආපු අළුත් යාලුවෙක් තමයි මේ... මෙයාගේ නම ශෂික...."

මැඩම් එයාව ගෙනල්ලා මගෙයි නෙතුගෙයි මේස දෙකට එහා පැත්තේ හිටපු සාරදී ගාවින් වාඩිකළා.ඊට පස්සේ මැඩම් එලියට ගියා ඒ ළමයාගේ අම්මලත් එක්ක කතා කරන්නද කොහෙද.අපිට නිකං අමුතු සතෙක් හම්බවුනා වගේ,කට්ටියම එක එක ඒවා අහනවා ඒ ළමයගෙන් ;

"ඔයා හිටපු ඉස්කෝලේ මොකක්ද?"

"කොහේ ඉඳන්ද ආවේ?"

"ගිය පාර විභාගේ ලකුණු කීයද?"

"චිත්‍ර අඳින්න පුලුවන්ද?"

"ඇයි අපි ඔක්කොම නිල් පාට කොට කලිසම් ඇඳගෙන ඉද්දි , ඔයා සුදු පාට එකක් ඇඳගෙන?"

ඒ ළමයට ප්‍රශ්න වලට උත්තර දීල ඉවරයක්‌ නැහැ...

"හා... හා.. ළමා...යි!!! දන ඉතිං අලුත් යාලුවට පොඩ්ඩක් ඉන්න දෙන්න... ඉන්ටවල් එකට බැරියෑ එයා ගැන වැඩි විස්තර අහගන්න..... අපි පාඩම පටංගමු....."

ඉන්ටවල් එකේ පංතියේ ළමයි වෙනද වගේ සෙල්ලං කරන්න ගියෙත් නැහැ.ඔක්කොම ශෂිකව වට කරගෙන.

ශෂික පෝසත් පවුලක ළමයෙක් වෙන්න ඕනි.එයාගේ බෑග් එක , සපත්තු දෙක , පැන්සල පෙට්ටිය ,කෑම පෙට්ටිය .... ඔය හැමදේම අපිට අමුතුයි.... ගොඩක් වටින ඒවාද කොහෙද....

"..මේවා මගේ තාත්තා රට ඉඳල එද්දී ගෙනාපුවා... මට ගෙදර ලොකූ සෙල්ලං කාර් එකකුත් තියෙනවා... ඒක පැදගෙන යන්නත් පුළුවනි.... පාට පාට ලයිට් පත්තුවෙන සපත්තු දෙකකුත් තියෙනවා මට...."

ශෂිකත් රටේ නැති පම්පෝරි ගහනවා... අපිට ඉතිං මැජික්!! නෙත්මිත් කට ඇරගෙන අහගෙන ඉන්නවා එයාගේ පම්පෝරිය!

"එයා ෂෝයි නේද?" ඉන්ටවල් එකේ කාලා අත හෝදගන්න ටැප් එක ලඟට ගියාම නෙත්මි මගෙන් අහනවා..

"කවුද? ශෂික ද?" මට පොඩි ඉරිසියාවකුත් ආවා...

"හ්ම්ම්...."

"අපෝ!!! මෙයා මෙන්න අදම වහ වැටිලා!!! පරණ යාළුවෝ අමතකයි වගේ!! " මම පොඩි විහිළුවක් කළා.කෙල්ලට අම්බානක් කේන්ති ගියා.

"ෂමිරූ.....ඌ....." ගාගෙන,නෙතූ මට ගහන්න දුවගෙන ආව මගේ පස්සෙන්... මමත් දිව්වා පසු නොබලාම!!!


*********


මායි නෙත්මියි ටවුන් හෝල් ඒකෙන් බැහැලා , පාක් එකට ගියා... සතියේ දවසක් නිසා මුළු පාක් එක පුරාම ඉන්නේ කපල්ස්... මායි නෙත්මියි හරිම අමාරුවෙන් හිස්වුණු බංකුවක් හොයාගත්තා... ටික වෙලාවක් යනකං අපි දෙන්නා නිශ්ශබ්දව , අපි වටේට අත් අල්ලගෙන , තුරුල් වෙලා ඇවිදින ආදරවන්තයෝ දිහා බලාගෙන හිටියා...


"...ලස්සන හීන මව මවා... එයාලා එයාලගේ ලෝකවල..." නෙතූගෙන් වචනයක්...


"ඒ ලෝක ගොඩාක් ලස්සනයි... ඒත් ඇත්ත ලෝකෙන් ගොඩාක් දුරයි..."




"හ්ම්ම්ම්.... ඒක ඇත්ත ෂමිරු... ආදරේ කරන ගොඩ දෙනෙක් සතුටින් ඉන්නේ ඇත්ත ලෝකේ එයාලට අමතක වෙන තරම්ම , එයාලගේ හීන ලෝක ලස්සන නිසා...."


"නෙත්මි...."


"ම්ම්ම්ම්......"


"ඔයාව මට ආපහු මෙහෙම හම්බවෙයි කියලා, හීනෙකින්වත් හිතුවේ නැහැ නෙත්මි.." මට කියවුනා.


එයා මගේ දිහා බැලුවා... ඒ ඇස් තාමත් ඉස්සර වගේමයි... දිලිසෙනවා....


"මම හිතුවෙත් නැහැ ෂමිරු..."


"ඔයාගෙන් ඈත්වුණාට පස්සේ මම ඔයාව හෙව්වා හැමතැනම...."


"ඔයා මාව හොයනවා කියලා මම දැනගෙන හිටියේ ෂමිරු.ඒත්.... ඒත් මට හයියක් තිබුනේ නැහැ ඔයාට පණිවිඩයක්වත් එවන්න... මම හිටියේ තරහින් ඔයා එක්ක... ඔයා මාව දාල ගිය දවසේ ඉඳං මම ජීවත් වුනේ අපායක ෂමිරු.ඉස්කෝලේ මැඩම්ලා මට කියපු කතා!!! ඔයාට ඇහුනානං , ඔයා අඬනවා ෂමිරු..."


"මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ නෙතූ... ඒත් මුල් දවස් ටිකේ මාත් තරහින් හිටියේ ඔයත් එක්ක...."


"ඔයා යද්දී මට කියලවත් ගියේ නැහැ ....."


"මම කොහොම කියන්නද නෙතූ , මට ඔයත් එක්ක කතාකරන්නවත් එපා කියලා තියෙද්දී??"


"අනිත් හැමෝම ළමයින්ට ඔයා කියලා යද්දී ඔයා යනවා කියලා , ඔයා මාව මගෑරිය... මම බලන් හිටියා ඔයා මං ගාවටත් ඇවිත් කියයි කියලා... එහෙම නාවම , මට දැනුනු දුක... කොහොම විස්තර කරන්නද ෂමිරු... ඇස්වල කඳුළු පුරෝගෙන , ඔයා යන දිහා මම බලන් හිටියා... ඒ දුක දන්නේ මම විතරයි ෂමිරු..."


මටත් නොදැනිම එයාගෙයි මගෙයි අත් පැටළුනා...


"I'm sorry නෙතූ.... මම ඔයාට ගොඩක් රිද්දන්න ඇති... ඒ නිසා වෙන්න ඇති දැන් මම විඳවන්නේ...."


"ජීවිතේ විඳින්නේ බොහොම ටික දෙනයි ෂමිරු , අනිත් හැමෝම කරන්නේ විඳවන එක තමයි...."

"හ්ම්ම්ම්...."

"ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවා කියලා මට දැනගන්න හම්බවුණා ෂමිරු, ටික කාලෙකට ඉස්සර... කවුද කිව්වේ කියලා මතක නැහැ.."


"ඔව්.. ඒක ඇත්ත.. මම කෙනෙක් එක්ක යාළුවෙලා හිටියා..."

"මොකද වුණේ?"

"එයාට එයාගේ ලෝකේ වැඩවලින් පිරුණට පස්සේ , මං වෙනුවෙන් වෙලාවක් නැති වුණා... ඒ නිසා ඒක ඒක ප්‍රශ්න ආවා... ප්‍රශ්නවලට කොච්චර විසඳුම් හෙව්වත් , හරි ගියේ නැහැ... දෙන්නම කතා බහ කරලා තීරණය කළා ඈත් වෙන්න.. තාමත් අපි යාලුවෝ... එච්චරයි..."



"ආයෙමත් ඔය දෙන්නට එකතු වෙන්න බැරි තරමටම ඈත් වුණාද?"

"හ්ම්ම්ම්...ඔව්... මම වතාවක් උත්සාහ කළා ආයෙමත්.. ඒත් වැඩක් නැහැ නෙතූ..."



"ආදරේ නිසා ගොඩක් විඳවලා ඔයා..."

"හ්ම්ම්.... මගෙත් වැරදි ඇති... ඒත් හැමදාමත් වගේ , මම ආපහු තනිවෙලා..."





නෙතුගේ ඇඟිලි මගේ ඇඟිලි මිරිකගත්තා.... එයා මගේ දිහාට එබිලා බැලුවා....

"ඔයා ආයෙමත් , කවමදාවත් තනි වෙන්නේ නැහැ ෂමිරු... ඔයාගේ නෙතූ , ඔයාගේ පුංචි කාලේ ඉඳං ඔයා ගාවම හිටපු නෙතූ , ආපහු ඔයා ලඟට ඇවිත්... කවදාවත්ම දාලා යන්නේ නැහැ ෂමිරු... ඔයාට දාලා යන්න දෙන්නෙත් නැහැ..."



මාව මොහොතකට හිරි වැටුණා.ඒ වචන ටික මීට අවුරුදු දෙක තුනකට කලින් මට අහන්න ලැබුනානම්..., කියල හිතුනා... එහෙනං , නෙතූ හැමදාමත් මගේම විතරක් වෙන්න ඉඩ තිබුනා... මම පරක්කු වැඩියි...

"මොනාද කල්පනා කරන්නේ???"

ඒ ඇස් දිහා බලාගෙන කොහොමද මම කියන්නේ හිතේ තිබුණු දේ...

"නැහැ... මුකුත්ම නැහැ..." මම හැමදේම හංගගත්තා...

"ඉතිං නෙතූ... , කියන්නකෝ ඔයාගේ ජීවිතේට ආපු අළුත් කෙනා ගැනත්..."

"ගොඩ දෙනෙක් මගේ පස්සෙන් ආවා ඉස්කෝලේ කාලේදී.ඒත් , ඔයාගේ සිද්ධියෙන් පස්සේ , මම හිතාගත්තා , කැම්පස් ගිහිං මිසක් ආයෙමත් ආදරේ කරන්නේ නැහැ කියලා කාටවත්ම... අනික ඔයා දන්නවනේ , මම කැමති නැහැ කවුරුත් පස්සෙන් ඇවිත් ආදරේ හිඟා කනවට... "

"අපොයි ඔව්!!! ඉස්සරත් ඔයාගේ මාර ඔළුවනේ!!" මම විහිළුවක් කළා..

"ඒ මගේ හැටිනේ ඉතිං... ඉතිං A/L කරලා ගෙදර ඉන්න කාලේ ශිෂ්‍ය සංවිධානේ වෙනුවෙන් බැහැලාම වැඩ කළා... සමහර දවස්වලට අපිට නතර වෙලා වැඩ කරන්නත් වුනා දිස්ත්‍රික් පක්‍ෂ මුලස්ථානවල... එහෙදි තමයි මට කාවින්දව හම්බවුනේ...එයා අපේ කණ්ඩායම් නායකයෙක් විදියටයි හිටියේ... එයා මං ගැන ටිකක් සැලකිල්ලෙන් හොයල බලනවා බව මට මුලදීම දැනුණා... මමත් දුවල පැනල වැඩ ටික කරන නිසා වෙන්න ඇති එයාට මාව නෝට් වුනේ... ඉතිං මාස දෙක තුනක් යනකොට අපි දෙන්නා නිකංම ලංවුණා... කවුරුත් කාගෙන්වත් ඇහුවෙවත් නැහැ... එදා ඉඳං අද වෙනකං , අපි දෙන්නා පක්ෂේ හැම වැඩකටම හැකි උපරිමෙන් දායක වෙනවා... "

මට එයාගේ අත ඉබේටම අතඇරුනා...ඒ හිත පිරෙන්නම ආදරේ කරලා ඉවරයි වෙන කෙනෙක්...ඒ ඇස් වල තිබුණු ආදරේ මට හොඳටම පෙනුනා... "නෙතූ උඹේ නෙවෙයි ෂමිරු!!!" මගේ හිත , මටම කෑ ගැහුවා...

"එයා මොනවද කරන්නේ නෙතූ?"

"එයා කැලණිය කැම්පස් එකෙන් ජනසන්නිවේදන  ඩිග්‍රී එක අරං , දැන් පුර්ණකාලීනව පක්ෂයේ වැඩ.. මට වැඩිය අවුරුදු 4ක් වැඩිමල්... හොඳ නිවේදකයෙක්... සාමාන්‍ය , සරල මනුස්සයෙක්... රට වෙනුවෙන් වැඩක් කරනවා මිසක් , තමන් ගැන කවමදාවත් හිතන්නේ නැහැ..."

"හ්ම්ම්...."

"අනික එයාගෙයි මගෙයි අදහස් ගොඩක් එකමුතුයි.... ජීවිතේ ගැන , විවාහය ගැන , ආදරේ ගැන , දේශපාලනය ගැන , අපි දෙනාටම තියෙන්නේ එකම අදහස් ටිකක්..."

"සතුටුයි... ඔයාට ඔයාගේ ජීවිතේ හම්බවෙලා... ලස්සන පවුල් ජීවිතයක් ගත කරයි..." හිතට ඇත්තටම දුකක් දැනුනත් , ඉවසන්න පුරුදුවුණා.. එයාගේ සතුට , මගෙත් සතුට වෙන්න ඕනි.. මොකද එයා මගේ යාළුවා...

මම කියපු දේ අහලා නෙතුට හිනා ගියා...



"අපි කවදාවත් බඳින එකක් නැහැ ෂමිරු...."

"මොකක්??" නෙතු කිව්ව දේට පුදුම නොවී ඉන්න බැරිවුනා...

"ඔව් ෂමිරු!!ඇයි ? කසාද නොබැඳ දෙන්නෙක්ට ආදරේ කරන්න බැරිද?? අනික අපේ අරමුණුත් එක්ක , ජීවිතේ එක තැනක , ලස්සන ගෙයක් හදාගෙන ගතකරන්න පුළුවන් වෙන එකක් නැහැ ෂමිරු..."

"ඒත් කවමදාවත්??"

"හ්ම්ම්... හැබැයි ළමයෙක හදාගන්න ඕනි කියලා හිතුනොත් විතරක් , කසාද බඳිනවා... මොකද පොඩි එකාගේ අනාගතේ ගැන හිතලා..."

"අනේ මංදා නෙතු... හිතාගන්න බහ මොනවා කියන්නද කියලා..."

ආයෙමත් එයාට හිනා....

"ඔයාල හැමෝම ඉන්නේ ගතානුගතික සංස්කෘතියක හිරවෙලා... ඔය සංකෘතිය ඇතුලෙම තමයි තියෙන හැම බලු වැඩක්ම වෙන්නේ.... කෙල්ලෙක් කසාද බැඳලා පලවෙනි දවසේ රෑ ගතකලාම , දුන්නු සුදු රෙද්ද ජපන් කොඩියක්** වගේ වෙලාද කියලා බලන්න දුවගෙන එන නෑදෑයො , තමන්ගේ ගෑනිව රට යවල තමන්ගේම දුවව ගෑණි විදියට තියාගෙන ඉන්න තාත්තලා , ගෙදර වැඩට එන ගෑනිත් එක්ක නිදිවදින වැදගත් මහත්වරු... ඔය වගේ හැමදෙයක්ම වෙන්නේ ඔය කියන මහලොකු , සදාචාරාත්මක , සංස්කෘතිය ඇතුලේ තමයි ෂමිරු.... ඊට වඩා හොඳ ජීවිත ගත කරනවා , ඔය සංස්කෘතියෙන් එපිටට පැනපු , පශ්චාත් නුතනවාදී මිනිස්සු... "

"මට කියන්න දෙයක් නැහැ... ඔයා කියපු දේ ඇත්ත... ඒත් අපි හැමෝටම බැහැ , ඔයා ඔය කියන විදියේ ජීවිතේකට ඇතුළුවෙන්න නෙතූ..."

"බැරිකම නෙවෙයි , ඔයාලව මාංචු දාලා , බැඳලා තියෙන්නේ... අලුතින් හිතන්න බය කරවලා තියෙන්නේ..."

"වෙන්න පුළුවන්..."

"ආන්නාසි අන්නාසි..... රසම රසයි අන්නාසි..." අන්නාසි වෙළෙන්දෙක්ගේ කෑ ගැහිල්ලෙන් අපි දෙන්නගේ කතාව නතර වුනා...

"නෙතූ , කනවද අන්නාසි?"

"ඔයාගේ ආසම කෑම නේ... නොකා කොහොමද ඉතිං...??" නෙතූට තාමත් මතකයි මගේ කෑම වට්ටෝරුව......

මම අත්පුඩියක් ගහල අන්නාසි වෙළෙන්දාට කතා කළා.....





**********




එයාට දැන් ඉතිං අපිව අමතක වෙයි

අලුතෙන් ආපු යාලුවෙක් ඉන්නවනේ

ඉන්නකෝ
මම හොඳ වැඩක් කරන්නං
ඊළඟ දවසේ 
සෙල්ලං කරද්දී
තල්ලු කරලා දානවා
වැටෙන්නම අලුතින් ආපු "ශෂිකව"..
මගේ නෙතූව මගෙන් උදුරගන්න
කාටවත් දෙන්නේ නැහැ මම
නෙතූ මගේ විතරමයි...




********

-- මතු සම්බන්ධයි --


** - ජපන් කොඩිය - යාමය ලියන , අමිල සහෝදරයාගෙන් මම ඇහිඳගත්තු වචනයක්...



14 comments:

  1. ඇත්තටම මේ කතාවට මට හරි ලෝබයි අප්පා..........

    ReplyDelete
    Replies
    1. හී... ලෝබ වෙන්න හොඳ නෑ... අපායේ යනවා...

      Delete
  2. කොටස් පහම එකසැරේට කියෙව්වා..
    කතාව හොඳට හිතට දැනෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා... ආයෙමත් ඇවිත් යන්න එන්න...

      Delete
  3. amutuma kathawak wagei....itiri kotasat ikmanata danna hode.

    ReplyDelete
    Replies
    1. කතාවේ අවසානෙත් එක්ක , කතාව අමුතුයි කියන හැඟීම තවත් තීව්‍ර වෙයි.... ඒ නිසා දිගටම කියවන්න..... පුළුවන් ඉක්මනින් ලියනවා ඊළඟ කොටස....

      Delete
  4. මට පේන විදිහට දුෂ්ටයා අවතීර්ණය වෙලා වගේ....කතාවේ වර්තමානය ගැන කියවෙන පළවෙනි කොටසට එද්දි මට ලස්සන වචන ටිකක් මතක් වුණා.ලූෂන් බුලත්සිංහල මහත්තයා ලියපු හිතට වදින වචන ටිකක්!

    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ
    එක්වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ
    වෙන්වී ගියවුන් සදාකල් පෙම්වතුන් ලෙසට
    ජීවත් වේ "
    [sigh]

    ජපන් කොඩිය මම ඇහිඳ ගත්තේ අවුරුදු ගාණකට කලින්
    වනාතමුල්ලේ යකඩ පාලම උඩ යාළුවො සෙට් එකත් එක්ක ලොස් වෙද්දි

    ReplyDelete
    Replies
    1. දුෂ්ටයා ද , යාළුවෙක්ද කියලා බලමු ඊළඟ කොටසෙන් ;)) උඹ ලියපු වචන ටික ඇත්ත බං... :(( වෙන් වුනාම ආදරේ දැනෙනවා වැඩියි....

      වල බැසීමේත් ධනාත්මක දේවල් තියෙනවා එහෙනං!!! ;)))

      Delete
  5. ඊළඟ කොටස කියවන්න හරිම ආසාවෙන් ඉන්නේ.. ලස්සන කතාවක්.. දිගටම ලියන්න.. :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! පුළුවන් තරං ඉක්මනට දානවා...

      Delete
  6. අනේ ලස්සනම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහොදරී... දිගටම එන්න මේ පැත්තේ...

      Delete
  7. ලස්සනයි මල්ලි කතාව... අතීතයට හිත ඇදිලා ගියා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... තවත් කොටසක් ලියවුණා අද... කියවලා බලන්න ඉතුරු ටිකත්...

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය