Friday, April 13, 2012

නිමක් නැති කතාවක්... පිටු අංක 03

~~ නිමක් නැති කතාවක්... පිටු අංක 03 ~~






"3 වසරේ අන්තිම වාරයේ පංතියේ පළවෙනියා..."

මම දැනගෙන හිටියා ඒ මම කියලා.මම වැඩට දස්සයි කියලා හැමෝම කියනවා.අපේ අම්මල යන හැමතැනකදිම මගේ දස්සතා ගැන පම්පෝරිය තමයි ඉතින්.මටනං ඉතිං විසේසයක්‌ නෑ,මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා.වාර්තා පොත ටීචර්ගේ අතින් අරගෙන දණගහලා වැඳලා ආපහු එන ගමන් නෙත්මිගෙ ඇස් ළඟ මගේ ඇස් නතර වුනා.ඒ ඇස් සතුටින් වගේම පුංචි ආඩම්බරේකිනුත් පිරිලා.

"ඔයා කීවෙනියද?"

"අහන්නවත් එපා!! ලොකූ ඉලක්කමක් ඒක... , ඔයා තරං අපි දස්ස නෑනේ ඉතිං..." හිනා වෙවී ,  එයාගේ පුංචි මූන උල් කරගෙන එයා කියනවා...

"අද ඉඳං නිවාඩු! ෂෝයි නේද? මම ඇඟිලි ගැන ගැනා හිටියේ නිවාඩු දෙනකල්..." මගේ සතුට ගැන එයාට මම කිව්වා...

එයාගේ හිනාව අතුරුදන් වුනා.. "ඔයාට සතුටුද?" මගෙන් අහනවා..

"ඔව්ව්....!!!! නිවාඩු කාලේ ෂෝයිනේ!!! ඉස්කෝලේ එන්න ඕනත් නෑ... ඇති වෙනකං සෙල්ලං කරන්නත් පුළුවන්...සතුටු නැද්ද ඔයාට?"

ඒ චූටි ඇස් දුකින් බරවුනා.මගේ හිනාව නතරවුණේ ඉබේමයි...

"ඇයි නෙත්මි???"

"ඔයාව හම්බවෙන්නේ නෑනේ ආපහු ඉස්කෝලේ පටන් ගන්නකල්..." මම ඒ ගැන හිතුවේ නෑ..එයා දුකෙන්..

"අපි හම්බෙනවනෙ ආයිමත් ඉක්කන්ටම..."

"හ්ම්.."

"කෝ ඉතින් හිනාවෙලා ඉන්නකෝ අනේ!!!!" මගෙන් නෝක්කාඩුවක්...එයා අමාරුවෙන් මුණට හිනාවක් ගෙන්න ගත්තා...



**********

  දවසින් දවස ගෙවිලා ගියා.එයාගෙන් උත්තරයක්‌ නැහැ.මම දවසෙන් දවස අවුලෙන් අවුලට වැටුනා.ජීවිතේ මාත් එක්ක සෙල්ලං කරන්න පටන් අරං කියලා මට හිතුනා.මගේ වටේ තිබුණු හැමදෙයක්ම වේගෙන් වෙනස් වෙද්දී මම එකම තැනකට වෙලා හිතින් දුක් විඳ විඳා හිටියා.







  මම එයාට පණිවිඩ දෙක තුනක්ම තිබ්බා.ඒ එකකටවත් මට උත්තරයක් හම්බුනේ නෑ.මට හිතුනේ එයාට මාව අමතක වෙලා ඇති කියලා...සදහටම....


  මගේ හිතේ තිබුනේ ආදරයක් නෙවෙයි වෙන්න පුළුවන්...ඒත් අමතක කරන්න බැරි අතීතයක් හොයාගෙන යන්න මගේ හිත මෙච්චර කැමති ඇයි කියලා මමවත් දැනගෙන හිටියේ නෑ...


  මම බලං උන්නු දවස මම නොහිතපු මොහොතක උදාවුණා.. එයාගෙන් මට පණිවිඩයක්....








  දැනුනු සතුට කියන්න බැරි තරං...එයාට මාව අමතක වෙලා නැහැ...මාස ගානක් එයාව හොයා හොයා විඳපු දුක ඔක්කොම අමතක වුනේ මොහොතකින්.... මමත් පුළුවන් තරං ඉක්මනට උත්තර දුන්නා... එයාගේ මොබයිල් ෆෝන් නම්බර් එකත් ඉල්ලුවා... මම කැම්පස් ආපු විත්තියවත් එයා දැනගෙන හිටියේ නෑ...


  මට ෆෝන් නම්බර් එක හම්බුනා... එයාටත් මාත් එක්ක කතා කරන්න ලොකු උවමනාවක් තිබුනා... පුදුමයක් නැහැ! අපි දෙන්නට තිබුනේ අමතක කරන්න අමාරු අතීතයක්!


  අවුරුදු ගානකට පස්සේ... එයාගේ කටහඬ අහන්න පුළුවන් මට... හිතේ ගැස්මකුත් තියාගෙන එයාගේ නම්බර් එක ඩයල් කළා මගේ ෆෝන් ඒකෙන්...


" රැය පහන්කලා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්...
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්.... "

" පුංචි සංධියේ සෙල්ලම් කල හැටි තාමත් මට මතකයි....
 වෙරල දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි.... "


  එයාගේ ෆෝන් ඒකෙන් ඇහුනු ringing tone එක මාව අපේ අතීතෙට අරන් ගියා...


 **********




"දැන් ඉතිං ශිෂ්‍යත්වෙට ලෑස්ති වෙන්නත් එපැයි.. 4 වසරේ ඉඳන්ම වැඩ කලේ නැත්තං ලොකු ලකුණකට යන්න බැරි වෙයි.... "

අම්මගෙන් මටනං බේරිල්ලක් නෑ මේ පාර... 4 වසර පටන් ගන්නත් කලින්ම ශිෂ්‍යත්ව පංති යවන්නයි හදන්නේ අම්මා මාව.මමත් ඉතිං බෑ කිව්වේ නෑ,මොකද ඉතිං මාත් ආසාවෙන් හිටියේ ශිෂ්‍යත්වේ පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න.

කොහොමහරි අම්ම මාවත් අරගෙන ගියා මාලිනී මැඩම්ගේ පංතියට. එදා තමයි මැඩම්ගේ පංති පටන් අරගන්නේ කියලා අම්මට කලින්ම කියලා තිබුනා ඉස්කෝලෙදි. අපේ අම්මත් O/L ගණිත ගුරුවරයෙක්නේ අපේ ඉස්කෝලේ.මාලිනී මැඩම් හරිම ප්‍රසිද්ධයි ශිෂ්‍යත්ව පංති කරලා ගොඩාක් ළමයි ඉහලින්ම පාස් කරන මැඩම් කෙනෙක් කියලා.....

පංතියට ළමයි ලියාපදිංචි කරන්න දිග පෝලිමක් තිබුනා... ඒත් මැඩම් අපේ අම්මව දන්න නිසා පෝලිමේ ඉන්නේ නැතුව ගිහිං පංතියෙන් මාව වාඩි කෙරෙව්වා... අම්මා මැඩම්ට කතා කරලා යන්න ගියා.මාත් ඉතිං වටපිට ටිකක් බැලුවා.කවදාවත් පංති ගිහිං නොතිබුණු නිසා වටේ හිටපු අලුත් මූණු දැකල මට නුහුරු ගතියක් දැනුනා.

ඒ අතර පංතියේ ඈත කෙළවරක දැකලා පුරුදු කොණ්ඩයක් පෙනුනා... වෙන කාගේවත් නෙවෙයි , ඒ නං නෙත්මිම තමයි! එයා හිමීට මම හිටපු දිහාට හැරෙනවා මම දැක්කා.. මාව දැකලා එයාගේ මුණ සතුටු හිනාවකින් පිරෙනවා මම දැක්කා. මම අත වැනුවා.එයත් හිනා වෙවීම අත වැනුවා මට. ඒ අතරේ තවත් අපේ ඉස්කෝලේ ළමයි ටිකක් ඉන්නවා මම දැක්කා. දැන් ඉතිං හරි! පන්තියේ තිබුණු නුහුරු ගතිය ඉවරයි..


**********

"හෙලෝ..."


ලස්සන කටහඬක්...


"හෙ.ල්..ල්..ලෝ..." මට ගොත ගැහුනා.මගේ හිත ගැහෙන සද්දේ මටත් ඇහුනා.


"ෂමිරුද??"


"ඔව්.."


"අම්මෝ ඔයාගේ කටහඬ.. ලොකු මනුස්සයෙක්ගේ වගේ... ඉතිං ඉතිං?? කොහොමද ඔයාට?? "


"හොඳයි..." මට කියන්න ඕනි මොකක්ද කියලා හිතා ගන්න බැරි වුනා.. ඒ කටහඬ ඉස්සරහා මම නිරුත්තර වුනා...


"මොකද ළමයෝ බය වෙලා වගේ?? බය වෙන්නෙපා... මම අර ඉස්සර නෙතූ ම තමයි...  "


"හ්ම්ම්..."


"මමනං හිතුවේ නෑ ෂමිරු ඔයාව අපහු මට මෙහෙම හම්බවෙයි කියලා..."


"මම ඔයාව ගොඩක් හෙව්වා නෙතූ..."


"එතකොට මම?? මමත් ඔයාව කොච්චරනං හෙව්වද ෂමිරු...."


"කොහෙද මෙච්චරකල් හිටියේ නෙතූ??"


"ඔයා ජීවත් වෙන පුංචි රටේම තමයි ෂමිරු..."


"අවුරුදු කීයක්ද අපි වෙන්වෙලා... මතක් වුනේ නැද්ද මාව ඔයාට පොඩ්ඩක්වත්??" මම නෝක්කාඩු කියන්න පටන් ගත්තා...


"වෙන්වෙලා නෙවෙයි ෂමිරු... අපිව වෙන් කරලා අවුරුදු 12 කටත් කිට්ටුයි... මතක් වුනා ෂමිරු... නැත්තං මම ඔයාව හොයයි ද? පරණ යාළුවො කවුරුවත් දැනගෙන හිටියේ නෑ ඔයා කොහෙද කියලවත්... "






"අපි තරහ වුනා.."


"නැහැ ෂමිරු.. අපිව තරහ කළා.."


"ඔයයි ගියේ මාව දාලා..."


"හොඳට මතක් කරන්න ෂමිරු... මමද ඔයාව දාලා ගියේ?? ඔයාටයි මගෙන් ඈත් වෙන්න වුනේ... ඔයා ගියාට පස්සේ මම කොච්චර දුක්‌ වින්දද ෂමිරු... ඔයා දන්නේ නෑ ලෝකයා මට කියපු කතා... පුංචි මම කොච්චර ඇඬුව ද ෂමිරු... "


"ඒත් මම හැමදාම ඔයාව මගේ හිතේ තියාගෙන දුක වින්දා නෙතූ..."


"මම අවුරුදු කීයක්‌ ඔයා නිසා මගේ හිනාව අමතක කලාද කියලා මමවත් දන්නේ නෑ... හැබැයි , මට ජීවිතේ ගැන ඔයා කියලා දුන්නු පාඩම නිසා තමයි අද මම මෙතන ඉන්නේ ෂමිරු...."


"දැන් මොකද නෙතූ ඔයා කරන්නේ?කැම්පස් ද?"


"හ්ම්.. ඔව් ෂමිරු.. මම A/L කලේ ආර්ට්ස් වලින්... මම දැන් සෞන්දර්ය විශ්ව විද්‍යාලේ..."


"සතුටුයි අහන්නත් නෙතූ..."


"ඉතිං ඉතිං ළමයෝ... කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක්... දැනගන්නත් ආසයි... " පරණ දඟකාරකම තාමත් ඒ කටහඬේ ගැබ්වෙලා තිබ්බා...පොඩි එකෙක් වගේ තාමත්..මට හිනා ගියා...


"මොකද ෂමිරු හිනා වෙන්නේ??"

"නැහැ.. ඔයානං පොඩ්ඩක්වත් වෙනස්වෙලා නෑ තමයි.. තාමත් අර පරණ පුරුදු නෙතූ ම තමයි..දඟම දඟ පාටයි..."


"ඔයාගෙත්... කටහඬ වෙනස් වුනාට,පරණ ආඩම්බරකම එහෙම්මමයි... ඉස්සර ඉතිං අලි ඔලුවනේ!!" එයාටත් හිනා...


"ඒ කාලෙට මං කොච්චර ආසයිද කියලා මම විතරයි දන්නේ නෙතූ.."


"ඇත්ත... කොහොමත් අපි දෙන්නගේ පොඩි කාලේ ගැන තියෙන්නේ වෙන කාටවත්ම නැති මතකයක්නේ..."


අපි දෙන්නටම හිනා...


**********

"මම දන්නේ නෑනේ ඔයා මේ පංති එනවා කියලා.." පංති ඉවරවෙලා පාරේ ඇවිදගෙන යනකොට මමයි නෙතුයි කතාවට වැටුනා...

"මම දන්නෙත් නෑ අනේ.. අම්ම තමයි හදිසියේම මාවත් එක්කගෙන ආවේ.."

"අපෝ මමනං බෑ මයි කිව්වා... ඒත් කොහෙද...මාව බලෙන් වගේ ඇදගෙන ආවනේ අම්මා..." නෙතූ චුට්ටි කට උල් කරගෙන කියාගෙන යනවා... 

"ඒත් ඔයා එනවා කියලා දන්නවනං පැනල එන්නේ පංති!! හරිම කම්මැලිකමෙන් අප්පා මම හිටියේ...සෙල්ලං කරන්නවත් කවුරුත් නෑනේ..." එයා හිනාවෙවී කියනවා...

එයාගේ කතාවට මටත් හිනා...

"දැන් ඉතිං සතියට දවස් දෙකක් හම්බෙන්න පුළුවන්... ඔයාට පාළු නැති වෙයි..."

ඒ ඇස් ලොකූ වුනා... එයා නැවතිලා මගේ ඇස්වලට එබුනා...

"මට විතරද පාළු ෂමිරු?? ඔයාට පොඩ්ඩක්වත් පාළු නැද්ද?? "

නොකිව්වට මම හිටියෙත් පුදුම පාලුවකින්..ඉස්කෝලේ ගිහින් හැමදාම එයත් එක්ක සෙල්ලං කරන්න පුරුදු වෙලා හිටිය මට නිවාඩු කාලේ එයා නැති අඩුව දැනුනා...

"පාළුයි නෙත්මි..." මම එයාට ඇත්තම කිව්වා...

එයාගේ මුණ ආයෙමත් හිනාවෙන් පිරුනා..

"අපේ අම්මා ඇවිල්ලා පාර අයිනට... අපි අනිද්දට හම්බෙමු ෂමිරු... ටටා..."

මට අත වනාගෙන එයා අම්මා ගාවට ගියා... එයා යන දිහා මම බලන් හිටියා...හොරෙන්...එයත් අම්මා ගාවට ගිහින් මං දිහා හොරෙන් බලනවා මම දැක්ක... මට හිනා ගියා...එයාටත්...



**********




ඔයා නැතුව මට පාළුයි...
මගේ අත කොනිත්තල දුවන්න..
මගේ කකුල පාගල දුවන්න...
මාත් එක්ක රණ්ඩු කරන්න...
මාත් එක්ක බොරුවට තරහ වෙන්න...
කවුරුත් නෑ...
පාළුයි ගොඩාක්...
අනේ ඉක්මනට නිවාඩු ඉවර වෙනවනං....
මට ආපහු ඔයත් එක්ක සෙල්ලං  කරතෑකි....
ඔට්ටු තියලා දුවතෑකි...
සී-සෝ පැදතෑකි....


ඔයාටත් පාළුයි නේද ෂමිරු??




**********

-- මතු සම්බන්ධයි --











4 comments:

  1. ලස්සන කතාව අයියෝ.....ඔන්න මේපාරනම් පෝස්ට් එක චූටි වැඩිද මන්ද......:/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගෝ... හික්ස්! වෙලාව හැමබෙන විදියට ලියලා දාන්නම් ඉතුරු ටික :))

      Delete
  2. machan,champz මේක බොක්කටම වදිනවා දැන්නම්...........

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය