Sunday, January 8, 2012

නිමක් නැති කතාවක්... පිටු අංක 01

~~ නිමක් නැති කතාවක්... පිටු අංක 01 ~~






           මගේ සිතුවිලි!! ඒවා ඔක්කොම ව්‍යාකුලයි.මම වගේමයි.කරන්න ඕනි මොකක්ද,කරන්න හොඳ නැත්තේ මොකක්ද කියලා මමවත් දන්නේ නෑ.මම ඒ ගැන හිතන්නෙත් නෑ..මට ඒ ගැන හිතෙන්නෙත් නෑ..මම දන්නේ එකම එක දෙයයි.ඒ තමයි මගේ දෛවය මටත් හොරා ,  මගේ සිතුවිලිත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරගෙන කියන දේ.

          අද උදේ කැම්පස් යද්දී මට මුනගැහුණු එකම එක චරිතයක් නිසා, කවමදාවත් නැතුව මගේ මුළු ජීවිතේම එක තැනක නතර වුණා වගේ හැඟීමක් දැනුනා.කොච්චර අමතක කරන්න හැදුවත්,ඒ සිදුවීම මට අමතක කරන්න මගේ හිත ඉඩ දෙන්නෙම නෑ.අතීතය වර්තමානය ගලපගන්න බැරුව, මම අද අසරණ වෙලා....


************


            අද , මම මෙච්චර උදෙන් කැම්පස් යන පලවෙනි දවසද කොහෙද.ඉක්මනට හේතුව,කැම්පස් ජීවිතේ මම අකැමතිම දේ, "විභාගේ!"


           විභාග ; හැමදාමත් මගේ ජීවිතේ වෙනස්කරපු කඩයිම්.5 වසරෙන් පටන්ගත්තු මගේ විභාග ඉතිහාසේ තවමත් අවසානයක් නෑ.විශ්ව විද්‍යාලෙට ඇතුල් වෙනකංම වෙන අයට ඕනි නිසා කරපු විභාග,දැන් මගේ අනාගතේ සිහින සැබෑ කරගන්න ඕනි නිසා කරන්න සිද්ධවෙලා.ඒත් සෙමෙස්ටරයක් පුරාවට පිස්සු කෙලලා, විභාගේ අත ලඟට ආවම,හිතට දැනෙන්නේ පුදුම සනීපයක්!!


          මගේ අත දුර ඉඳං දුම් දාගෙන , දූවිලි අවුස්සගෙන එන බස් එකක් නවත්තගත්තා... පස් හය දෙනෙක්ම දොර ලඟට දුවගෙන එනවා.උන් හැමෝම මාවත් පෙරලගෙන මම නවත්තපු බස් එකට නැගන්නවා.මම උන්ට ඉඩ දීලා හැමදාමත් වගේ බලාගෙන ඉන්නවා. " තමාට පෙර අනුන්! " ඔක්කොම බස් එකට නැග්ගට පස්සෙත්,එක "වීර කාන්තාවක්" මට බස් එකට නගින්න ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්නවා.


       මගේ ඇස් එයාගේ දම් පාට පටි තියෙන සුදු පාට සෙරෙප්පු දෙක ළඟ නවතිනවා මට දැනුනා.ඊට පස්සේ.. බාගෙට පීරපු දඟම දඟ කොන්ඩෙන් මුණට වැටුණු කෙහෙරැල් අතරින් මම එයාගේ මුහුණට එබුනා....







   එයා!!!!!


   මීට වසර එකොලහකටත් පෙර මා දැන හැඳින හිටි , මගේ ජීවිතේ වෙනස්කරපු එයා!!! මගේ ඇස් මට ම අදහගන්න බැරි වුණා.. කොච්චර හෙව්වද මම ඔයාව??? හම්බවුනේ නෑ! ඒත් අද? මම හොයපු වස්තුව, මගේ ඇස් ඉස්සරහා...මගේ ලඟින්ම...


එයා මං දිහා බැලුවා.මම එකම තැන ගල් ගැහුනා.


"න..ග්..ග්..ගි.න්.න්න.." 


මට ගොත ගැහුනා...එයා බස් එකට නගින්න ඇති..මට මතක නෑ..මම බස් එකට නැග්ගේ නෑ..මට මතක එච්චරයි...


හැගීමක් නැතුවම මම ඊළඟ බස් එකට අත දැම්මා....


************

" නෙත්මි!! ෂමිරු ලඟින් ඉඳගන්න ඇවිත්!!" 

එයා අඬාගෙනම ඇවිත් මං ලඟින් ඉඳගත්තා.. වතුරමලක් වගේ උඩට කරලා ගැටගහපු එයාගේ කොන්ඩේ දිහා බලල මම හිනා වුණා...එයා ලඟින් ආපු ඕඩිකොලෝන් සුවඳට මම ආසා කළා..

එයා තාමත් අඬනවා... මම මගේ අතේ තිබුණු ලස්සන පැන්සල එයාට දික් කළා..

"අඬන්නෙපා  නෙත්මි .. ආ.. මේක ගන්න..."

නෙත්මි ඔලුව උස්සලා බැලුවා... එයාගේ ඇස්වල කඳුළු පිරිලා... එයාගේ සුදු මූණ, රතුම රතු වෙලා....



"ආ,ගන්න.. ඔයා තියාගන්න... මට තව ගොඩාක් තියෙනවා! අපේ පුංචි රට ඉඳං එද්දී ගෙනත් දුන්නේ.. මේ..."

මම මගේ පැන්සල් පෙට්ටිය ඇරලා,පාට පාට පැන්සල් ගොඩ පෙන්නුවා එයාට...

එයා අඬන එක නැවැත්තුවා.මගේ අතේ තියෙන පැන්සල අතට අරගත්තා හරිම ආසාවෙන්.පුංචි මුණේ යාන්තමට හිනා රැල්ලක් ඇඳුනා මම දැක්කා.

"ඒ පාර කතාවක් පටන් ගත්තද  නෙත්මි ???"

මැඩම්ගේ සද්දෙට අපි දෙන්නම ගැස්සිලා ගියා...

***************


    "කොහොමද මචං විභාගේ?" එක එකාගෙන් කෝටියක්‌ ප්‍රශ්න.පේපර් එකට උත්තර දෙනවට වඩා අමාරුයි මුන් අහන ඒවාට උත්තර දෙන්න ගියාම... වෙනදට කැන්ටිමෙන් බොන ප්ලේන්ටී එකත් අද නිවිලා..

"මෙලෝ රහක් නෑ..." හිත කියනවා.. 


"හ්ම්ම්..." , ඒ හිතම උත්තර දෙනවා...

"වරෙන් බං... ගහමු ක්‍රිකට් පාරක්‌ අද... විභාගෙත් ඉවරයිනේ.." එකෙක්ගෙන් යෝජනාවක්.

"හොඳ අදහස, හවස් වෙනකන් ක්‍රිකට් ගහලා , යමු රෑ වෙලා බීච් එකට... ගිහින් ෆුල් ආතල් එකක් ගමු මචෝ!"

"මොකද කියන්නේ?? " 

බහුතර කැමැත්තෙන් යෝජනාව ස්ථිරයි....

"ෂමිරු! මොකද බං උඹ සද්ද නැත්තේ? එන්නේ නැද්ද උඹ අපිත් එක්ක?"

"අද බෑ බං..අම්මට මාත් එක්ක වාහනෙන් ගමනක් යන්න තියෙනවා කිව්වා බං.ඒ හින්දා ගෙදර යන්න වෙනවා බං..."

මම ලොකු බොරුවක් ඇදලා දැම්මා.ජොලියක් දාන්න තරං හිතට නිවනක්,සැනසිල්ලක් තිබුනෙම නෑ!හිත පුරාම එකම මතකයයි තිබුනේ....."නෙත්මි ..... "

මම ගෙදර එනකං හිටියේ වෙනම ලෝකෙක... ගෙදර ඇවිත් ඇඳට ගොඩ වෙලා කොට්ටයක් බදාගත්තා තදකරලා...


 "ඇයි මට එයාව කලින් හම්බ නොවුනේ!!! අද මුනටම හම්බ්වෙලත් ඇයි මට එයාව මග ඇරුනේ!! ඇයි මම එයාට කතා නොකළේ!! ඇයි එයා මට කතා නොකළේ???"

හිත ඇතුලේ ප්‍රශ්න පත්තරයක්!! ඒ එකම ප්‍රශ්නෙකටවත් මගේ ළඟ උත්තර නැහැ..

 ***************

ටාං...! ටාං...! ටාං... ! ඉස්කෝලේ ඉන්ටවල් බෙල් එක.මැඩම්වත් පෙරලගෙන ළමයි ටික පංතියෙන් එලියට දුවනවා... මට ඉතිං හැමදාම ගෙදරින් කෑම එක ඔතල දෙනවනේ.. හිමීට බෑග් එක ඇරලා කෑම පෙට්ටිය අරගෙන තියාගත්තා ඉසරහින්... හැමදාමත් වගේ අදත් තියෙන්නේ මම ආසම කෑම ,මැදට සම්බෝල දාලා ටෝස්ට් කරපු පාන්..


මට දකුණු පැත්තෙන් රෝල්ස් කෑල්ලක් මට දික් වුනා... නෙත්මිගෙන්....මම එයා දිහා බැලුවා.

"ගන්න" , එයාගේ ඇස් වලින් මට ඉඟි කරනවා...

"තැන්කූ" .. , 

"ආ ඔයාටත් පාන් කෑල්ලක්". එයා හිනාවෙලා මම දීපු පාන් කෑල්ල අතට ගත්තා....

"රසායි...." පුංචි මුණ උල් කරගෙන එයා කියනවා...



"මොකද ඔයා දමිත් ට ගැහුවේ?" මම එයාගෙන් අහනවා...

"එයා මගේ කොන්ඩේ ඇද ඇදා කරදර කරනවා...ඉතිං ගැහුවා හොඳ පාරක් අතට...."

පුංචි  නෙත්මි නොක්කාඩුවක් කියනවා...

"හී... හොඳ වැඩේ දමිත්ට.... , ඉතිං ඇයි ඔයා ඒක මැඩම්ට කිව්වේ නැත්තේ?"

"කියන්න හදනකොට දමිත් අඬන්න පටන් ගත්තනේ... ඉතිං මටත් ඇඬුනා,එයටත් වඩා හයියෙන්..."

මට හිනා ගියා..

"ඔයා හිනා වෙනවද මට?"  , .. නෙත්මි මූන නොරෝක්‌ කරගෙන...

"නෑ.....!!!! ඒත් ඔයාගේ කොන්ඩේ දැකලා මට හිනා ගියා..."

නෙත්මි ආපහු අඬන්න වගේ..... "ඇයි???කැතයිද??"

"නෑ!!! මම ආසයි... ලස්සනයි කොන්ඩේ... ඇත්තමයි..." 

... මම බොරුවක් කිව්වා.....

එයාගේ පුංචි මුණේ මලක් පිපුනා වගේ...

"ඇත්තටමද කිව්වේ??"

"ඔව්ව්ව්!!!" 

... ආයිමත්!!!

***************

"පුතේ...දැන් හොඳටම රෑ වෙලා...කන්නේ නැද්ද රෑට??" , අපේ අම්මා මගේ කාමරේ දොරට ගහල කතා කරන සද්දෙටයි මට ඇහැරුනේ....

කෑමට කිසිම පිරියක් නැහැ... ඒත් ඉතිං නොකෑවොත් අම්මගෙන් බේරිල්ලක් නෑ...අම්මගේ එකම පුත්තරයනේ ඉතිං මම....

"මම එනවා අම්මේ...කෑම එකක් බෙදල තියන්න..."

අන්තිමට මම තීරණයක් ගත්තා...

කොහොමහරි නෙත්මිව ආපහු හොයාගන්න ඕනි...ඉක්මනටම.....

***************


ඔයා අඬනකොට මටත් අඬන්න හිතෙනවා....
කවුද ඔයාට රිද්දුවේ?
අපි දෙන්නම එකතුවෙලා ගහමු එයාට....
හා නේද?
අඬන්නෙපා ඔයා...
මම ඉන්නවනේ...
හී...
ඔය හිනාවෙන්නේ...
ලස්සනයි ඔයා...
ඇත්තමයි...
ආයි අඬන්න එපා.....
කවමදාකවත්...



***************

-- මතු සම්බන්ධයි --







Friday, January 6, 2012

"නිමක් නැති කතාවක්" , ලියන්නට පූර්විකාවක්....

        "නිමක් නැති කතාවක්" , ලියන්නට පූර්විකාවක්....





       අලුත් අවුරුද්දේ හා හා පුරා  කියලා කතාපොතේ ලියවෙන පලවෙනි ලිපිය තමයි මේක...ඉතිං බ්ලොග් අවකාශේ ඉන්න හැම කෙනෙක්ටම , මේ ලැබුවා වූ නව වසර, කිරි පැණි උතුරන , සුබ සිතිවිලි සියල්ල ඉටුවන සුබම සුබ ,අති සාර්ථක වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම....


        කතාපොත පුරාවටම ගොඩක් දේවල් ලියවුනා පහුගිය අවුරුදු දෙක තුළ.ඒ අතරතුර කෙටි කතාවකුත් ලියවුනා "අහිමි සෙනෙහස" නමින්... "අහිමි සෙනෙහස" කතාකලේ මිත්‍රත්වයක් තුළ අහිමිවූ සෙනෙහසක් ගැන... ඒ කතාවට ගොඩ දෙනෙක් ආසා කළා.ගොඩ දෙනෙක් කතාව කියවල රසවින්දා කියලා ලැබුණු ප්‍රතිචාර වලින් හොඳටම තේරුම් ගියා... තවත් සමහරු ඇහුවා කවදද ආපහු ඒ වගේ කතාවක් "කතා පොතේ" ලියවෙන්නේ කියලා....


      2011 වසරේදී නොහිතපු තරං මම කාර්යබහුල වුනා... අදටත් ඒකෙ වෙනසක් නැහැ... ඒත් තවත් කතාවක් ලියන්න ඕනි කියලා මගේ හිත මට බලකලා... අන්තිමට හිතට එකඟවෙන්න මට සිද්ධ වුනා.... ඒ නිසා,මම තවමත් අවසානයක් නොදන්නා, "නිමක් නැති කතාවක්" ලියන්න පටන් ගත්තා... අද ඉඳං කොටස් වශයෙන් කතා පොතේ දී ලියවෙයි "නිමක් නැති කතාවක්"... ආරාධනා කරනවා හැමෝටම ඇවිත් කියවලා බලන්න කියලා... අනිවාර්යයෙන්ම,මෙතෙක් ඔබ නොහිතපු,නොදැකපු මානෙකට ඔබේ හිත අරං යනවා , "නිමක් නැති කතාවක්"....


===================================


ආදරේ කරන්න බැරිද මට?
මම තාම පොඩි වැඩියි?
ඇයි ඒ?
ආදරේ කරන්නේ ලොකු මිනිස්සු විතරද?
පුංචි මට ආදරේ කරන්න බැරිද?
මම එයාට ගොඩාක් කැමතියිනේ.....
එයත් මට කැමති ඇති....
මට එහෙම හිතෙනවා....
අනේ,
එයා මගේ...
කාගේවත් වෙන්න දෙන්නේ නෑ මම...
ආදරෙයි එයාට..
හැමදාමත්....
කවුරු මොනවා කිව්වත්....
වෙනස් වෙන්නේ නෑ මම.....
කවමදාවත්......




===================================