Tuesday, June 12, 2012

නිමක් නැති කතාවක්... පිටු අංක 04

~~ නිමක් නැති කතාවක්.... පිටු අංක 04 ~~


නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < -


"ඔයානං ඉස්සර හිටපු ෂමිරුමයි!!! පොඩ්ඩක් මහත් වෙලා,උස ගිහිල්ලා... එච්චරමයි වෙනස... දඟ පාටයි තාමත්!!!"


"ඔයා මාව දැක්ක වගේනේ කතාව"


"ඔව්..! , ෆොටෝස් දැක්කනේ FB එකේ....ඒත් ඇත්තට දකින්න ආසයි මට ඔයාව"


"මටත් නෙතූ...ආපහු ඔයාව දකින්න තිබුනනං කියල හිතෙනවා..."


"අපි හම්බවෙමු දවසක ෂමිරු.ඉක්මනටම...."


ඉස්සර තිබුණු ආදරේ , ලෙන්ගතුකම ආයෙමත් මගේ හිත පුරාම දැනෙන්න පටන්ගත්තා... එයාව හම්බවෙනකන් මට තිබ්බේ නොයිවසිල්ලක්...


"නෙතූ..."


"ම්ම්...?"


"ඔයාගෙන් දෙයක් අහන්නද??"


"අහන්න...ඔනිදෙයක්...."


"ඔයා තාමත්... තාමත් , තනියෙන්ද?? නැත්තං...."


"ඇයි ෂමිරු හදිසියේ එහෙම දෙයක් ඇහුවේ??"


"දන්නේ නැහැ නෙතූ....ඒත්... අනේ මන්දා...."


නෙතූ ටික වෙලාවකට නිහඬ වුනා... මොහොතකට පස්සේ,


"නැහැ ෂමිරු... මම දැන් තනියෙන් නෙවෙයි... ජීවිතේ ජීවත් වෙන්න කෙනෙක් ගාවට තුරුළු වුනා...මට බනින්නෙපා,මම ඔයා එනකං බලං හිටියා A/L ඉවර වෙනකන්ම....ඔයා ආපු නැති නිසයි , මම වෙන තැනක නවතින්න තීරණේ කලේ ෂමිරු..."


ඒ වචන ටික අහලා මට ලොකු අසරණකමක්,තනිකමක් දැනෙන්න පටන් ගත්තා.ඇයි කියලා හරියටම කියන්න මම දන්නේ නැහැ,ඒත් මම අසරණ වුනේ  එයාව මට හම්බවෙන්න පොඩි ඉඩක්වත් නැහැ කියලා දැනුනු නිසා වෙන්න ඇති...


"හ්ම්ම්.... " මොහොතකට මම කල්පනා සයුරක ගිලුනා.... "ඒ බව මම දැනගෙන හිටියේ නැහැ නෙතූ..."


"අපි දෙන්නට හොඳ යාලුවෝ වගේ ඉන්න පුළුවන් නේද ???.....ෂමිරු,මට ඔයාව ආපහු නැති කරගන්න බැහැ ..."


මගේ හිත කලපනා කරන්න පටන් ගත්තා.... ඇත්ත,එයයි මායි පොඩි කාලේ ඉඳං මතක ගොඩක් පොදි බැන්දා... ඒත් ඒ මතක දැන් හීන විතරක් වෙලා...එයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැන තවත් එයාගෙන් මිතුරුකමට එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙන එක වැරදියි කියලා මට තේරුනා...






"ඔව නෙතූ... මටත් ඔයාව ආපහු නැති කරගන්න බැහැ....අපි දෙන්නා හැමදාමත් හොඳ යාළුවො වගේ ඉමු...."


එයාගේ මුණ හිනාවෙන් ඉතිරෙන්න ඇති...ඉස්සර වගේම තාමත් ලස්සනයි... මම ඇස් දෙක පියාගෙන ෆෝන් එක ලං කරගත්තා...


"හෙට ඔයාට වැඩ ද ෂමිරු?"


හෙට?? හෙටම හම්බ වෙනවද??? මොන වැඩේ තිබ්බත් මම එනවා!!! - මගේ හිත සතුටට කෑ ගහනවා...


"හෙට විශේෂ වැඩක් නැහැ....හම්බ වෙන්න පුළුවන් වෙයිද අපිට???"


"අනිවාර්යෙන්ම හම්බෙමු හෙට....මට ඉවසිල්ලක් නැහැ ඔයා ලඟින් ඉඳං කතා කර කර ඉන්න..."


"කොහෙද යන්නේ අපි?? "


"ඔයා කැමති තැනක් කියන්න..."


"එහෙම විශේෂ තැනක්නං මට මතක් වෙන්නේ නැහැ... නිදහසේ කතා කර කර ඉන්න.... ම්ම්ම්....., පාක් යමුද නෙතූ? විහාරමහාදේවි?"


"හරි.. කිසි අවුලක් නැහැ... උදේම යමු ද?හවස් වෙලා යමුද? "


"මටනං දවසම තිබුනත් හොඳයි!!!" දෙන්නටම හිනා...මම වගේම එයාටත් මාත් එක්ක ඉන්න ආසයි කියලා මට දැනුනා...


"උදේම යමු..පුළුවන් තරං වෙලා ඉමු... ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවනේ.."


"හරි.. කොහාටද ඔයා එන්නේ?"


"කොට්ටාවට එනවද? උදේ 8 විතර වෙද්දී? "


"හරි.මම එන්නං නෙතූ...."


**********


   හෙට නෙත්මිගේ උපන්දිනේ... එයාට මොනවද දෙන්නේ කියලා හිතාගන්නවත් බෑ.... පුංචි මම හිතනවා එයාව සතුටු කරන්න පුළුවන් දෙයක් ගැන... මට ආව හොඳ අදහසක්... හදන්න ඕනි උපන්දින කාඩ් එකක්.... වැඩි වෙලාවක් ගියේ නැහැ... අම්මලාටත් හොරෙන්ම කාඩ්බෝඩ් කෑල්ලක් අරගෙන පාට පාට පෑන් , ප්ලැටිග්නම් , පැස්ටල් ගොඩාක් වටකරගෙන මම වැඩේ පටන් ගත්තා...



මොකක්ද ඉස්සරහින්ම අඳින්නේ.....ම්ම්ම්ම්.... මමයි එයයි ඉන්නවා අඳිනවා අත් අල්ලගෙන.... , මම හෝ ගාලා වැඩ... වැඩි වෙලාවක් ගියේ නෑ, ලස්සන කාඩ් එකක් හැදුනා පින්තූර ගොඩාක් තියෙන... ඔක්කොම මම ඇඳපුවා....

ඊට පස්සේ තඩි අකුරින් ලිව්වා  "දයාබර නෙත්මි... සුබ උපන් දිනක් වේවා!"

පහුවදා උදේම ඉස්කෝලේ ගිහිං , නෙතූ වාඩිවෙන තැන ඩෙස්ක් එක යට තියෙන ලාච්චුවට කාඩ් එක දැම්මා... දාලා හොරා වගේ බලන හිටියා නෙතූ එනකං...

"ගුඩ් මෝනිං ෂමිරු..."

මම දැක්කෙත් නැහැ , නෙත්මි මගේ ළඟටම ඇවිත්.

"ගුඩ් මෝනිං නෙතූ.... ඔයා ගෙදර වැඩ ටික කලාද නෙතූ??"

"ම්ම්... ඔව්ව්ව්..... " එයා නෝක්කාඩු මූණක් මවාගෙන කිව්වා.

"අද කවද්ද ෂමිරු??"

"ජනවාරි 21"

"ඔයාට මුකුත් මතක නැහැ!! මම ඔයත් එක්ක තරහම තරහයි ෂමිරු!! මම යනවා!! කතා කරන්නෙපා ආයිමත් මාත් එක්ක.."

මට හිනා යන්නත් එනවා.නෙත්මිට හොඳටෝම කේන්ති ගිහිං.එය හිතනවා ඇති මට එයාගේ උපන්දිනේ මතක නැහැ කියලා.නෙත්මි ගස්සලා රවලා යන්න ගියා.මමත් හිමිට පස්සෙන් ගිහිං කනට කරලා රහසින් කියාගෙන ගියා එයාගේ මෙසේ ලාච්චුව ඇරලා බලන්න කියලා.

ඉන්ටවල් එකේ මම පිට්ටනිය අයිනේ තිබුණු බැම්මක් උඩ වාඩිවෙලා හිටියා අයියලා ක්‍රිකට් ගහන හැටි බලාගෙන.තව කවුද කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක වැහුවා අත් දෙකෙන්.. මම අල්ලලා බැලුවා අත්දෙක.. වෙන කවුරුත් නෙවෙයි,නෙත්මිම තමයි..

"ම්ම්ම්... සාරදී නේද??"

අත් දෙක අයින්වුණා.හොඳ පාරක් වැදුනා චටාස් ගාලා පිට හරහට.

"දැන් සාරදී ත් ඔයාගේ යාළුවා වෙලාද?? අඳුරගන්නත් බෑ නේද මාව!!!" නෙතුගේ නොක්කඩුවට මට හිනා... එයත් මගේ ලඟින් ඇවිත් වාඩිවුණා..මම හිනාවෙලා එයාගේ අතින් මිරිකගත්තා..

"විහිළුවක් කලේ... ඔයා ඇරෙන්න මට වෙන යාළුවො කොයින්ද නෙත්මි..."

ඒ මුණ සතුටින් පිරුනා... මගේ දිහාවට හැරිලා ලොකූ කතාවක් කියන්නයි නෙතූ  ලෑස්ති වෙන්නේ...

"කාඩ් එකට තැන්කූ ෂමිරු.... මට හරියට බලන්න බැරිවුණා... ගෙදර ගිහිං බලන්නම්... මම හිතුවා ඔයාට අමතකවෙලා කියලා මගේ උපන්දිනේ... නපුරා!!! මාව කේන්ති ගැස්සුවා උදේ පාන්දරම..."

"මට අමතකවුනේ නැහැ නෙතූ... කවදාවත් අමතක වෙන්නෙත් නැහැ.. මගේ යාළුවව අමතක වෙනවද එහෙම..."

ඒ චූටි ඇස් දිලිසෙනවා..

"ඔයාගේ යාලුවට ඔයා ගොඩාක් ආදරෙයිද ෂමිරු?"

"ඔව්ව්ව්....."

"කොච්චරක්ද?" 

"මෙච්චරක්...." මම අත්දෙක දිගෑරල පෙන්නුවා පුළුවන් තරං...

"එච්චරයිද??"

"නෑ!!! ඒ වගේ කෝටි කෝටි කෝටි කෝටි වතාවක් ආදරෙයි..."

නෙතූ මොකක්දෝ එයාගේ සාක්කුවෙන් අරං මගේ සාක්කුවට එබුවා... එයා මගේ මුණට නැමිලා කම්මුලට කිට්ටුවුනා...



"උම්ම්ම්ම්ම්මා...." මට කිති වගේ... එයා මට උම්මා එකක් දීලා,ටක්ගාල නැගිටලා , හිනාවෙලා,  දුවලා ගියා පන්තිය පැත්තට....

"මම ඔයාට ඊට වඩා ආදරෙයි!!!" එයා මගේ සාක්කුවට ඔබල ගිය චූටි කොළ කෑල්ලේ ලියල තිබ්බා...




**********


හැමදාම පරක්කු වෙන මම , අද වෙලාවටත් කලින් නැගිටලා ගෙදරටත් බොරුවක් දාලා 8 වෙන්නත් කලින්ම කොට්ටාවට සැපත්වුනා.කොට්ටාව හංදියේ 138 බස්ටෑන්ඩ් එකට වෙලා බලන් හිටියා නෙත්මි එනකං.එහාට මෙහාට හරවන බස් , වාහන , දූවිලි , කඩිමුඩියේ වැඩට යන මිනිස්සු අතරේ මම එයා එනකං මග බැලුවා.


වෙලාව 8.10 විතර වෙද්දී මට කෝල් එකක්,නෙත්මිගෙන්.


"හෙලෝ... ෂමිරු , ඔයා කොහෙද ඉන්නේ?"


"138 ස්ටෑන්ඩ් එකේ.."


"ආහ් හරි! මම දැනුයි කොට්ටාවෙන් බස් ඒකෙන බැස්සේ..ටක් ගාල එන්නං..."


මටත් නොදනිම පපුව "ඩිග් ඩිග්" ගානවා මට දැනෙන්න පටන් ගත්තා... එදා එයාව හදිසියේ දැකපු වෙලාවේ මතක හිටපු රූපේ හිතේ මවාගන්න මම උත්සාහ කළා... පිටතින් ලොකු වෙනසක් නැතිවුනාට , නෙතූ කියන චරිතේ මොන වගේ වෙනස් වෙලාද දන්නේ නැහැ.. තාමත් ඉස්සර පොඩි කාලේ වගේම දඟ ඇති... මගේ හිත මට කියනවා... කටනං පොඩ්ඩක් අඩුවෙලා නැහැ!! මට හිනා ගියා...


"ෂමිරු!!!!"


මටත් හොරා එයා මගේ ළඟ.. නිල් පාට ලස්සන බ්ලවුස් එකකුයි කළු පාට ජීන් එකකුයි ඇඳගෙන , කැරලි කැරලි කොන්ඩේ කඩා දාලා.... රෝස පාට මූණ , දිලිසෙන ඇස් , චූටි උල් නහය , හිනාවෙනකොට වලගැහෙන රෝසපාට කම්මුල්....


"නෙත්මි....එදා දැක්ක වගේමයි..."


එයාට හිනාගියා...


"හ්ම්ම්... එදා ඔයා මාව දැකපු දවසේ මම වෙන සිහියක හිටියේ අයියෝ! පරක්කුවෙලා හොඳටෝම! අනික වෙනදට කවදාවත් මම කොට්ටාවට එන්නේ නැහැ... ගෙවල් ලඟින් කෙලින්ම කොටුව බස් එක ගන්නවා... කවුද දන්නේ කොල්ලෙක් මම එනකන් බලං ඉඳියි කියලා කොට්ටාව හන්දියට වෙලා..."






ඊළඟට පිටත් වෙන බස් එකට අපි ගොඩවුණා... බස් එකේ මැද හරියට වෙන්න තිබුණු සීට් එකක දෙන්නම වාඩිවුණා...ගොඩ වෙලාවක් යනකං අපි දෙන්නම කතාවක් බහක් නැතුව හිටියේ...


"ඔයාට කොහොමද නෙත්මි?" මම වචන ගැලපුවා...


"හොඳින්...ගොඩාක් සතුටින්..." බස් එක ගමන පටන් ගත්තා... අපිවත් අරං කොළඹ පැත්තට....

"ඔයාගේ උපාධියට මොනවද නෙතූ කරන්නේ?"

"නැටුම් තමයි මගේ උපාධිය.. බෙර තමයි මගේ විෂය... "

".. කොහොමත් ඉස්සර ඉඳන්ම ඔයාට සිංදු කියන්න , නටන්න එහෙම පුළුවන්නේ... "

එයාට හිනාගියා...

"කැම්පස් එකේ බාහිර වැඩ එහෙම කරන්න ඔයාලට වෙලාවක් තියෙනවද ෂමිරු?"

"ලොකුවට වෙලාවක් නැහැ... ඒත් මමනං අධ්‍යාපනේට වඩා මුල්තැන දීල තියෙන්නේ බාහිර වැඩවලට.... අහුවෙන හැම වැඩකටම සෙට් වෙනවා... මේ පාර ශිෂ්‍ය සංගමෙත් ඉන්නවා..."

"ඇත්තටම ද??" එයා පුදුමෙන් වගේ ඇහුවා.

"ඔව්.. මගෙනං ලොකු කැමැත්තක් තිබුනේ නැහැ.. ඒත් යාලුවෝ කිව්වා නිසා කැමති වුනා.."

"ඒ වගේ දේවල් සුළුවට හිතන්න එපා ළමයෝ!! ඔයාට වැඩක් කරන්න පුළුවන්නේ එහෙම තැනකට ගියාම... අනික ඉංජිනේරු ශිෂ්‍ය සංගමේ , අනිත් කැම්පස්වල වගේ දේශපාලනීකරණය වෙලා නැහැනේ.. ස්වාධීනව තමන්ගේ මතය අනුව වැඩකට ඇති වැඩක් කරලා පෙන්නතැහැකිනේ...එහෙම නේද? " නෙතුගේ කතාව හරියට පරිනත දේශපාලකයෙක් තමන්ගේ අනුගාමිකයෙක්ට උපදෙස් දෙනවා වගේ...

"ඔව්.. ඇත්ත.... ඔයා සැහෙන්න ඒ දේවල් ගැන දන්නවා වගේ නේද නෙතූ?"

"මමත් ක්‍රියාකාරිව අරගලවලට උර දෙනවා ෂමිරු!!  අයුක්තිය , අසාධාරණය ඉස්සරහ කට පියාගෙන ඉන්න මම ලෑස්ති නැහැ... "

නෙතුගේ වචන ටික අහල මට ඉබේටම එයා දිහා බැලුනා...

"ඔයා ගොඩාක් දේශපාලනේට සම්බන්ධයි වගේ..."

"හැම මිනිහෙක්ටම තමන්ගේ කියලා දේශපාලනයක් තියෙනවා ෂමිරු!!"

"ඇත්ත... මම මහා ලොකුවට දේශපාලනේ ගැන දන්නා මිනිහෙක් නෙවෙයි... ඒත් ඔයාගේ වචන ටික නිසා මට හිතෙන්නේ මීට කාලෙකට කලින් , රටේ අරගල කරපු ක්‍රියාකාරී දේශපාලන පක්ෂෙකට ඔයා සෘජුවම සම්බන්ධයි කියලා...."

එයා කට කොනින් හිනාවුණා... හරියට සමච්චලේට වගේ....

"ඔයා හරි... ඒත් , හැමදාමත් ඒ පක්ෂයේ මතය මම දරන්නේ නැහැ ෂමිරු.. මම අදහන්නේ අසාධාරණය , අයුක්තිය පිටදකින , හැමෝටම සාධාරණයක් ඉටු වෙන දේශපාලන රටාවක්.... පක්ෂ දේශපාලනෙකට වඩා , මට තියෙන්නේ අරමුණුගත දේශපාලනයක්, මතවාදී දේශපාලනයක්...."

නෙතූ සෑහෙන්න පරිණත වෙලා කියලා මට දැනුණා.ඉස්සරත් ඒ දඟකාරකම් ඇතුලේ එයාගේ තිබුණා,අවශ්‍ය දෙයක් වෙනුවෙන් තදින්ම  සටන් කරන ගතියක්....

"මමත් ඒ දහම අදහනවා... යහපත් සමාජයක් වෙනුවෙන් , යහපත් දේශපාලනික රටාවක්!!! ඒත් ඒක , ලාංකික දේශපාලන ක්‍රමය තුල යතාර්ථයක් නෙවෙයි නෙතූ...."

"ක්‍රමය වෙනස් කල යුතුයි!!"

"කලින් වතාවේ වගේමඋත්සාහ කරලා,රට ඇතුලේ ලොකු විනාසයක් කරලද??"

"පිස්සා...ෂමිරු, මාව කේන්ති ගස්සනවා ඔයා!!...." බොරුවට තරහ මූණක් මවාගෙන එයා කියනවා...

"ආ...ව්ව්ව්....." නෙතූ මගේ කකුල කෙනිත්තුව හොඳටම!!!

"ඒකනං රිදුනා හොඳේ!!! ඉන්නවකෝ පාක් එකට යනකං!! දෙන්නන් රිටර්න් එක..." එයාට හිනා... අපි දෙන්න පොඩි කාලේ වගේම තාමත් රණ්ඩු කරනවා...



අපි දෙන්නගේ රණ්ඩුව නතරවුණේ අපිටත් නොදැනිම ටවුන්හෝල් එකටම බස් එක ආවමයි... 


**********




මම හිතුවා ඔයාට,
මගේ උපන්දිනේ අමතක වුණා කියලා...
තරහ ගියා මට...
ඊටත් වඩා , දුක හිතුණා...
ඒත් ඔයාගේ අතින්ම හදපු,
කාඩ් එක දැකලා,
මට දැනුනු සතුටක්!!!
හරියට ලෝකෙම හම්බවුනා වගේ....

ඔය ඇඳලා තිබුණු රූපේ,
හරිම ලස්සනයි...
ඔයයි මායි නේද ඒකෙ,
අත් අල්ලාගෙන ඉන්නේ?
හැමදාම මට ඔයාගේ යාළුකම ඕනි ෂමිරු....
ඔයා දන්නවට වඩා,
මට ඔයාගේ යාළුකම වටිනවා....
ගොඩාක්...
කොච්චරක්ද දන්නවද??

ඔයා මට ආදරේ තරමට වඩා,
කෝටි කෝටි කෝටි වතාවක්....


**********

--  මතු සම්බන්ධයි  --




4 comments:

  1. හම්මූ...ඇටි යාන්ටන් මේක ඩාල......^_^

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හිහ්!!! කොහෙද අෆ්ෆේ , නිවාඩු හම්බුනාම තමයි වැඩ පටං ගත්තේ!!! කැම්පස් යනවට වඩා බිසී වෙනවා ගෙදර ඉන්නකොට!! :))))

      Delete
  2. මේ මේකට කියන්න හරි හමන් වචන සෙට් එකක් දැන් මට එන්නේ නෑ.අත 'උම්මා'එක හින්දා මගේ හිතත් නිකන් ඔකඳ වෙලා ගියා.ඉංජිනේරු.පී.ශි.ස ගැන කියද්දිනම් මේක උඹේම කතාවක් තමයි.

    මගේ ආදරණීය මිත්‍රයා......පුංචිකාලේ අපි ළඟ -අපට නොදැනී දැවටෙන - ආකර්ශනය කියලා පණ්ඩිතයෝ හඩු ගහන - ආදරණීය පුංචි සිතුවිලිවල මිහිර උඹ ආයෙත් හිත්වලට කැන්දනවා - අපූරු විදිහකට.ඒකට බොහොම ස්තූතියි.....උඹට ජය!

    ප. ලි : ඊළඟ කොටස ළඟදිම ඕන.

    ReplyDelete
    Replies
    1. මේ ඕනිම කතාවක මොකක්හරි කොටසක් අපේ ජීවිතේටත් සමීපයි මිත්‍රයා..... ඉ.පී.ශී.සං. කෑල්ලත් ඔහේ ලියාගෙන යද්දී ආවේ... නවත්තන්නවත් , වෙනසක් කරන්නවත් හිතුනේ නැහැ... ඔහේ ලියාගෙන ගියා.... අනිවා , ඊළඟ කොටස දෙනවා හැකි ඉක්මනින්! අපිට ඉතිං අනධ්‍යයන කාර්ය මණ්ඩලේ වගේම , ආචාර්යවරුත් ළඟදීම තව නිවාඩුවක් දෙන්න නොවැ යන්නේ ;))) ලියන්න බැරියෑ දිගට හරහට!!! :)

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය