"කසුන්.."
හැමදාමත් අහන්න ආසා කරපු සඳුනිගේ කටහඬ...
"කසුන් ඇයි ඔයා මුකුත් කියන්නැත්තේ?"
"මොනවා කියන්නද සඳුනි.ඔයා මාව පඹගාලකනේ පැටලුවේ.ඔයාගේ හිතේ තියෙන හැමදේම කියල ඉවරවෙනකං මට මුකුත්ම හිතා ගන්න බෑ!"
"දන්නවා කසුන්.වෙන පිරිමි ලමයෙක්නං මෙලහකට මගේ කම්මුලට ගහල යන්න ගිහින්."
මට සඳුනි දිහා බැලුනා.එයා දුර ඈත බලාගෙන ඇවිදිනවා.
"මට කියන්න සඳුනි.මොකක්ද ඔයා ඔච්චරම දුක්වෙන ප්‍රශ්නේ?" මට ඉවසිල්ලක් තිබුනේ නෑ ඒක දැනගන්නකං.
"ජීවිතේ හරි පුදුමයි කසුන්.ජීවිතේ දුක් කරදර අමතක කරලා සතුටින් ජීවත් වෙන්න හදනකොට,ආයෙමත් කොහෙන්හරි දුකක් අපිව හොයාගෙන එනවා."
හුම්මානේ ගල් දෙබුක්කාවෙන් එන වතුර පාරේ ස්...ස්.... සද්දේ දැන් ඇහෙන මානේ.
"ඔයාගේ ජීවිතේ දුක්විඳපු කාලේ ඉවරයි සඳුනි.ඔයා දැන් ජීවිතේ දිනන පාරට ඇවිත්.කැම්පස් ගිහින් ඉගෙන ගෙන ජීවිතේ දිනාවි ඔයා."
සඳුනි මගේ දිහා බැලුවේ ලොකූ දුකක් හිතේ පුරෝගෙන කියල මම දැක්කා.ටික වෙලාවකින් සඳුනිගේ මූන පරාජිත හිනාවකින් පිරුනා,
"අපි හිතන හැම්දේම ඒ විදියටම වෙනවනන්,මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද කසුන්....;
අවාසනාවට,ඒ දේවල් එහෙම සිද්ධවෙන්නේ නෑ!"
අපි මුහුද අයිනට එනකොටම , සූ..ස්.... ගාගෙන වතුර පාරක් අහසට විද්දා. මුහුදු හුලඟට ගහගෙන ආපු වතුර බිංදු වලින් අපිව නෑවුණා.
"ලස්සනයි නේ?"
"හ්ම්..."
අපි දෙන්නා හෙවන වැටිච්ච ගල්පොත්තක් උඩට ගොඩවෙලා වාඩිවුණා.මුහුද හෝ.... ගානවා.මගේ පපුවත් මුහුද වගේම කැලඹිලා.
"කියන්න සඳුනි,හිතේ හිරකරන් ඉන්න හැමදේම කියලා හිත නිදහස් කරගන්න සඳුනි.."
" මගේ හිතට කවමදාවත් නිදහසක් ලැබෙන්නේ නෑ කසුන්.ඒත් මගේ හිතේ තියෙන දේ ඔයාට නොකිව්වොත්,ඔයා මං ගැන මහ නපුරු විදියට හිතාවි.මම ඔයාගේ ලෝකෙට ඇවිත් ඔයාගේ ජීවිතේ විනාස කලා කියල ඔයා හිතාවි."
සඳුනි දිග කතාවකට පෙරුම් පුරනවා.
"කසුන් මම ඔයාට මගේ ජීවිතේ ගැන නොකිව්වේ එකම එක දෙයයි.ඒත් මම බලාපොරොත්තු නොවුනු විදියට ඒ දේ මට අද කියන්නම සිද්ධවෙලා.
කසුන්ට මතකයිනේ මං කිව්වා අපේ අම්මා රට ගියේ අපිට ජීවත්වෙන්න සල්ලි හිඟවුණ නිසා කියලා?
ඇත්තටම අපේ අම්මා රට ගියේ ඒ හින්දම නෙවෙයි කසුන්..."
සඳුනි අමාරුවෙන් වචන අහුලනවා.
"...මං ඔයාට නොකිව්වට....පොඩි කාලේ ඉඳලම..ම..ම..මම,පොඩි කාලේ ඉඳලම..., මම ලෙඩෙක් කසුන්!"
සඳුනි එදා කියපු වචන අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා.
"අපේ අම්ම රට ගියේ ඒ ලෙඩේට බෙත් කරන්න සල්ලි හොයන්න කියලා හිතාගෙන.මොකද මගේ ලෙඩේ නිසා මාසෙකට රුපියල් පනස්දාහක් විතර බේත් වලටයි,රිපෝට්ස් වලටයි වියදංවුණා."
සු...ස් ගාගෙන වතුර පාරක් අහසට නැංඟා.මගේ හිතේ දුකත් ඒ තාලෙටම හිත ඇතුලේ අඬනවා.උතුරලා යන දුකක් හිත පුරාම දැනුනා.
"...ඒත් ඔයා දන්නවා ඒ දේවල් අපි හිතපු විදියට සිද්ධ නොවුණු වග.මං නිසා දුක්විඳපු මගේ අහිංසක අම්මත්,අන්තිමට මාව මේ ලෝකේ තනිකරල සදහටම ඇස් පියාගත්තා .."
සඳුනිගේ ඇස්වල පිරිලා තිබුණු කඳුළු,කම්මුල් දිගේ දොරේ ගලන්න පටන් ගත්තා...එයාව සනසවන්න කියන්න ඕනි මොනවද කියලවත් මට තේරුණේ නෑ.මොකද මගේ හිතත් දුක නිසා හිරිවැටිලයි තිබුණේ.
සඳුනි ආයෙමත් කතාව පටන් ගත්තා...
"ඉතිං මගේ අම්මත් නැතිවුණාට පස්සේ මගේ ලෙඩේට බේත් කරන්න සල්ලි වියදං කරන්න මගේ පුංචි අම්මට පුලුවන් කමක් තිබුණේ නෑ.ඉතින් බේත් ගන්න එක එතනින්ම නතරවුණා.ඒත් පුංචි අම්මා පුළුවන් විදියට රජයේ ඉස්පිරිතාලෙන් මගේ බේත් ටික අරන් දුන්නා.ඒත් ඒ පාවිච්චි කරන්න ඕනි ප්‍රමාණෙන්,බොහෝම පොඩි ප්‍රමාණයක්.ඒකෙන් වැඩක් වුණේ නෑ"
"ඉතින් ඇයි සඳුනි මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ?" මම සඳුනිගෙන් ඇහුවේ හිත පුරෝගත්තු දුකකින්.
"නැහැ කසුන් ..මට මේව ගැන කියලා ඔයාගේ විභාගේ කිට්ටුව ඔයාගේ හිත රිද්දන්න ඕනි වුණේ නෑ කසුන්"
"ඒ කියන්නේ ඔයාගේ ලෙඩේ හොඳ කරන්න බෑ කියන එකද?"
මගේ ඇඟ කීරි ගැහුණා."හොඳ කරන්න බැරි ලෙඩක්!!"මං අහපු ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ ගැන මම ම බයවුණා.
"මැරෙන්න මම කවදාවත් බයවුණේ නෑ කසුන්.
ඒත් දැන්, මට බයයි කසුන්!මම මැරුණොත් , කසුන් ඔයාට මොකද වෙන්නේ?ඔයාගේ ජීවිතේ ඔයාගෙම නංගිවෙලා ලඟ ඉන්න පෙරුම් පුරපු මට ඔයාව දාල යන්න බෑ කසුන්....
ඔයාගේ පුංචි පපුවට බෑ කසුන් මේ වගේ දුකක් දරාගන්න...මම ඔයාව දන්නවා...ඒකයි මම හැමවෙලේම මේ දේ ඔයාගෙන් හැංගුවේ...."
මම සඳුනිගේ අත් දෙක මගේ අත්දෙකින් මිරිකලා අල්ලගත්තා.
"පිස්සු කතා කියන්න එපා සඳුනි!රිද්දන්න එපා මට මෙහෙම.ඔයාට මුකුත් වෙන්නේ නෑ!"
සඳුනි ඔළුව උස්සලා මගේ දිහා බැලුවා.මගේ ඇස්වලට එබිල බලපු ඒ ඇස්,ලොකු කතාවක් කියන්නයි සූදානම..
"ඒත් කසුන්...., ගිය සතියේ මගේ රිපෝට්ස් බලපු ඩොක්ට කිව්වේ....." ඒ ඇස් වලට ආයෙමත් කඳුළු පිරුණා...
"...ඩොක්ට කිව්වේ..ම...ම....මට වැ.. වැ..වැඩි කාලයක් නෑ කියලයි!"
අමාරුවෙන් වචන එකතුකරන් සඳුනි කිව්ව දේ අහලා , මගේ හිත මොහොතකට නතරවුණා.
"වැඩි කාලයක් නෑ!" මම ආයෙමත් ඒ වචන ටික මිමිණුවා..හිතේ තිබුණු දුක,මහා ලොකු බයකට පෙරලුනා.
"ඔව් ක..සුන්...මට වැ..වැ...වැඩි කාලයක් න්...න්...නෑලු..."
සඳුනි මගේ උරහිසට ඔළුව තියාගෙන ඉකි ගගහා අඬන්න පටන් ගත්තා.මගේ ඇස් වලටත් කඳුළු පිරුණා.ඒත් මගේ හිත මට අඬන්න ඉඩ දුන්නේ නෑ.
"නැහැ සඳුනි..එහෙම වෙන්න බෑ...දැන් තාක්ෂණෙත් දියුණුයි,ඕනිම ලෙඩකට බෙහෙත් තියෙනවා" මගේ හිතේ ඇතිවුණේ බලාපොරොත්තුවක්.ඒත් මගේ වචන අහලා සඳුනි තවත් ඇඬුවා...
"නැහැ කසුන්.....ඇත්ත නවත්තන්න කාටවත් බෑ....කාටවත්ම බෑ...මාව හොඳ කරන්න බෑ කසුන්.මට තියෙන්නේ,මට ත්...ත්..ති..යෙන්නේ.....
මට ල්..ල්...ලියුකේමියාව කසුන්!"
සඳුනි හෙමිහිට කෙඳිරුවා.මොහොතකට මුළු ලෝකෙම නතරවුණා වගේ දැනුණා.හතර වටින්ම කළුවර වුනා වගේ....
"ලියුකේමියාව..." මට මිමිණුනා...
"ඔව් කසුන්..මට පොඩි කාලේ ඉඳන්ම ලේ පිළිකාවක්.." සඳුනි හිමිහිට ඔලුව උස්සලා මගේ දිහා බලාගෙන කිව්වා.
මට කියන්න දෙයක් තිබුණේ නෑ.හිත හිරිවැටිලා , දුක වැඩිකමට.මගේම සහෝදරියක් වගේ මගේම ලඟින් උන්නු සඳුනිත් මාව දාලා යන්නම යනවා!විස්වාස කරන්න බෑ මට!නැහැ...! මේක හීනයක්!මේක හීනයක්!!
"කොහොමද කසුන් මම ඒ බව දැන දැනත් ඔයාව මගේ කරගෙන ඔයාගේ ජීවිතේ විනාස කරන්නේ.
සමාවෙන්න කසුන් මට සමාවෙන්න..ඔයාගේ ජීවිතේට යාලුවෙක් විදියටවත් නෑවිත් ඉන්නයි මට තිබුණේ.මගෙන් වුණු වරදට සමාවෙන්න කසුන්!"
සඳුනිගේ උරහිස් දෙකෙන් තදකරල අල්ලගත්ත මම,
"එපා ඔහොම කියන්න සඳුනි!
ඔයාගෙන් මට වරදක් වෙලා නෑ.ජීවිතේ තිබුණු තනිකම ඔයා නිසා නැතිවුණා.
ඒත් මම හිතුවා...මම හිතුවා...කවදහරි ඔයා මගේම වෙලා,හැමදාමත් මගේ ලහින් ඉඳියි කියලා සඳුනි..."
ඒ වචන ටික ඉවරවෙන්නත් කලින් මගේ කඳුළු ඉස්සර වුනා.හිතේ තිබුණු දුක,ඇස් වලින් දෝර ගැලුවා.සඳුනිව උරහිසට තියාගත්තු මම , මගේම මිතුරිය වෙනුවෙන් ඇඬුවා.
ඔව්,අපි ඇඬුවා.ඉර හඳ හේදෙන්න ඇඬුවා. මහමුහුදක් දෝරේ ගලන තරමට අපි ඇඬුවා.අපේ කඳුළු දැකලා මහ මුහුදත් හූමිටි තිබ්බා.හුම්මානේ වතුර මලත් , අපිත් එක්ක එකතුවෙලා,අපිටත් වඩා හයියෙන් ඇඬුවා.
--------------------------------------------------------------------------------------------------
කසුන් වෙත,
නිසල වූ නෙතු දෙස,
බලාන පතන්නට
සසර පුරාවට - මගේම වන්නට,
එනවා නේද සොහොයුර?
මේ මතකයත් රැගෙන,
කවදා හෝ දිනක,
මා මෙලොව හැරගිය මොහොතක....
කවි ගී ආයෙත් නොලිව්වාට,
ඔබ මගේම සොහොයුරකු වූ බව
කියනුයේ කෙලෙසද එදාට?
එනමුදු ;
ගොළු වූ කටහඬින් - අමතමින් ඔබේ හද,
ඔබ ලඟම දැවටෙන්නට,
එදාටත් අවසර - දෙනවා නේද සොහොයුර?
බැරිවුවත් මා හට,ලංවෙන්න ඔබ වෙත,
සත්තයි එදාටත් ඔබ ලඟම ඉන්නා බවට,
මතකයක් , සුවඳක් හෝ කඳුලක් වී,ඔබේ ඔය නෙතු තුල...
ඔයාගෙම,
සඳුනිගෙන්...
--------------------------------------------------------------------------------------------------
එදා ඒ හමුවීම සඳුනිගෙත් , මගෙත් අන්තිම හමුවීම වුනා.ඒ සඳුනිගේම ඉල්ලීමක් නිසා.සඳුනිගේ ඉල්ලීම වුනේ එයාව අමතක කරලා , එයාගෙන් ඈත්වෙලා ඉන්න කියලයි.මම ඒක කරන්න බැහැ කියද්දී සඳුනි කිව්වේ ;
"මැරෙන්න ඉන්න ලමයෙක්ගේ අවසාන ඉල්ලීම ඉටු කරන එක ලොකු පිනක් කසුන්" කියලා විතරයි.ඒ නිසා එයාගෙන් ඈත්වෙලා ඉන්න මට සිද්ධවුණා.අන්තිම මොහොතෙවත් එයාව බලන්න එන්න එපා කියල එයා මට කිව්වා.
මම එදා ගමන් ගිහින් ගෙදර ආවේ කොහොමද කියල මට මතක නෑ.එද ඉඳන් අද වෙනකන් ජීවත්වුණේ කොහොමද කියලා මතකයකුත් නෑ.හැබැයි මම තාමත් හුස්ම ගන්නවා.
*****
සඳුනි මුළු ලෝකෙම අත්හැරලා යන්න ගියා.ඒක සිද්ධ නොවෙන්න තිබුණු දෙයක්.ඒත් ඒක එහෙම සිද්ධවෙලා අදට මාස හයක් වෙනවා.මාව මේ ලෝකේ තනිකරල එයා යන්නම ගියා කියලා තවමත් මට විස්වාස කරන්න බෑ.මොකද ඒ සුවඳ,ඒ මතකය,ඒ රූපය,ඒ ආදරේ,සෙනෙහස... තවමත් මං වටේ දැවටෙනවා.
ඔව්!ඒ ලස්සන මතක කවදාවත් අමතක වෙන්නේ නෑ!ආත්ම ගාණක් පුරාවට ඒ මතකයන් මගේ ලඟ තියේවි.
උසස්පෙළ ප්‍රතිඵලත් ගිය මාසේ පිටවුණා.කැම්පස් යන්න මටත් වරමක් ලැබිලා තිබුණා.ඒත් මගේ හිතට කිසිම සතුටක් නෑ.මගේ සතුට බෙදාගත්තු මගේම සහෝදරිය "සඳුනි" මගේ ලඟ නැතුව මම අද වෙන කාත් එක්ක සතුට බෙදාහදා ගන්නද!
සඳුනිත් විභාගේ ඉහලින්ම පාස්වෙලා තිබුණා.ඒ ප්‍රතිඵලත් අරන් සඳුනිලෑ ගෙදර ගිය මොහොතේ , සඳුනිගේ පුංචි අම්මා අඬාපු හැටි මට තාමත් මතකයි.ඒ අසරණී සඳුනිගේ ජීවිතෙ බේරගන්න හැදුවත් බැරිවුනා.දුක වැඩි ඒ නිසා වෙන්න ඇති.දුක තුනීවෙන්න වචනයක් කියන්න ඕනි කියලා හිතුණත්,මගේ ගොළුවතට වචන ආවේ නෑ.
*****
ගාළු මුහුද අද හරිම නිශ්චලයි.වෙනදා නැති පාළු මූසල බවකින් මුළු ගාළු කොටුවම පිරිලා ඉතිරිලා ගිහින්.හරියට සඳුනි නැති පාළුව එයාලටත් දැනිලා වගේ.
මායි සඳුනියි පැය ගනං ගාළු කොටුවට වෙලා කතා කරපු හැටි...අපේ හැම කඳුලක්ම,හැම සුසුමක්ම,හැම සතුටක්ම, අපි දෙන්නා සහෝදරත්වයෙන් බෙදා හදාගත්තු හැටි..... , මේ හැමදෙයක්ම මේ නිසල මුහුදට මතක ඇති.ගාලුකොටුව,ඒ හැමදෙයක්ම නිහඬව බලන් ඉන්න ඇති.
මේ ලෝකේ සහෝදරයෙක්වත්,සහෝදරියක්වත් නැතිව තනිවෙලා උන්නු මටයි සඳුනිටයි,අපි දෙන්නාගේ මිත්‍රත්වය ඇතුලේ ඒ දේවල් හම්බුවුණා.අපි ජීවත්වුණේ ගොඩාක් සතුටින්,ජීවිතේ ගැන තෘප්තියෙන්!ඒත් අවාසනාවකට අද ඒ මිත්‍රත්වය මතකයක් විතරක් වෙලා.මං ආයෙමත් මගේ ලෝකේ තනිවුණා.මගේ තනියට මගේ ලඟ ඉතුරුවුණේ ලස්සන මිත්‍රත්වයක මතකයයි,ඒ මතකයන් නිසා මට උරුමවුණු සීතල කඳුලුයි විතරයි.
*****
හැන්දෑ කළුවර ටිකෙන් ටික ගාලුකොටුව වටලනවා.තරු එකින් එක අහසේ තැනින් තැන මතු වෙනවා.දුක නිසා හිරිවැටුණු මගේ හිතට කාලය ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් ඇති නොවුණු එක පුදුමයක් නෙවෙයි.
අහසේ තියෙන ලස්සනම ලස්සන , පුංචි තරුවක් මං දිහා බලං හිනාවෙනවා.සමහරවිට 'සඳුනි' ඈත අහසේ තරුවක් වෙලා මං දිහා බලං ඇති.
ඔව්,ඒ එයාම තමයි!ඒ ලස්සන මූණ , ඒ අහිංසක හිනාව , ඒ කතාකරන ඇස්.....
මමත් හිනාවුණා....මූණ පුරෝගෙන හිනාවුණා....මගේම මිතුරිය , මගේම සොහොයුරිය , මගේම ජීවිතේ එක්ක මම හිනාවුණා...
ඒ හිනාව බොඳවෙලා ගියා,සීතල කඳුළු වැස්සක් මගේ කම්මුල් තෙමාගෙන පහලට රූටනවා මට දැනුණා........
ඇත්තමයි ;
ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්...
*****
හඬන්නට කඳුළු බිංදුවක් සොයමින්
ළතැවෙමි කඳුළු කතරේ
දකින්නට ආලෝකයක් පතමින්
සොයනෙමි අවිඳු අඳුරේ
ඔබේ රුව ආයෙත් දකින්නට
පතනෙමි හදින් සොඳුරේ
සොය සොයා මම තවම වැළපෙමි
"අහිමි සෙනෙහස" ජීවිතේ
*****
හදක් වැළපුනු ; හඳත් හැඬවුණු , අහිමි සෙනෙහස මෙසේ නිමාවට පත්වූ වගයි....
*****
~ නිමි ~
ලිව්වේ : චාමර
වර්ෂය: 2007








