Sunday, July 18, 2010

මගේ ප්‍රථම කෙටි නවකතාව - අහිමි සෙනෙහස - (කොටස් සියල්ල එකම ලිපියකින්) -

     ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.මොහොතින් මොහොත වෙනස්වෙන ජීවිතේ හරියට ගලන ගඟක් වගේ.අපිට ජීවිතේදි අත්විඳින්න සිද්ධවෙන දුක,සතුට,වේදනාව ....  මේ හැමදේම පුදුම ඉක්මනින් වෙනස් වෙනවා.මේ බව අඳුනගත්තු මිනිස්සු ජීවිත කාලයම සතුටින්,මැදහත් සිතින් විඳිනවා.ඒත් ඒ බව නොදන්න තවත් සමහරු, මුළු ජීවිතේම විඳවනවා.

       ජීවිතේ විඳිමින් උන්නු මමත් , අද ජීවිතේ විඳවනවා.සතුටින්,සෙනෙහසින්,සිනහවෙන් පිරිලා තිබුණු මගේ ආත්මය අද දුකින්,කඳුලින්,සුසුමින් පිරිලා ඉතිරිලා ගිහින්.ඒ මට අහිමිවුණු, මගේම ජීවිතේ නිසා.
       
      ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.මගේම ජීවිතේටත් වඩා මම එයාට ආදරේ කලා.අවුරුදු ගාණක් ලං වෙලා නොහිටියට , අපේ ආදරේ තුල ඇතිවුණේ ආත්මීය බැඳීමක්.සමහරවිට ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති.

       ඉතිං ඒ කඳුළු කතාව පෑන් තුඩෙන් සිත්තම් කරන්න මම ඉටා ගත්තේ , අපේ ආදර කතාව ලෝකටම ඇහෙන්න කෑ ගහල කියන්න මට ඕනි වුණු නිසා.
      ගාළු කොටුවේ බංකුවක් උඩ තනිවෙච්ච මම,මගේ කතාව මෙහෙම ලියන්නං.....

------------------------------------------------------------------------------------------------------------

     මගේ මේ කඳුළු කතාවේ පුංචි කුමාරි "සඳුනි".
    
     එයාව මට මුලින්ම හම්බුණේ අපේ ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකදි.එදා ඒ ප්‍රදර්ශනේ බලන්න පිට ඉස්කෝල සෑහෙන ගානකිං ළමයි ආවා.ඉතිං ඔය අතරේ හිටපු එක අහිංසක ඇස් දෙකක් ලඟ , මගේ හිත ටිකකට නතර වුණා.
 
     කොන්ඩෙ කරල් දෙකට ගොතලා,සුදු පාට රැළි තුනේ ගවුමට නිල් පාට ටයි එකක් දාල හිටපු එයා,එයාගේ යාළුවෝ ටිකත් එක්ක පුදුම සතුටකින් හිටියේ.ඒ ලස්සන සුදු මූණ පුරාවට පිරිලා තිබුණු ඒ අහිංසක හිනාව....ඒ නිල්පාට ඇස්වල තිබුණු එළිය.... ,ඇත්තමයි වචන වලින් විස්තර කරන්න බැරි තරං ලස්සනක්.
     එයා මගේ ලඟ නැති උණත් අදටත් ඒ ඇස්වල ලස්සන , මගේ හිත කොනිත්තනවා.

     එයා , එයාගේ යාළුවෝ ටිකත් එක්ක අපේ ප්‍රදර්ශන භාණ්ඩ තිබුණු ඉසව්වට කිට්ටු වුණා.ඒ බව දැකලා මගේ හිතේ ගැස්ම වැඩි වුණේ මටත් නොකියාමයි.

       "අනේ බලන්නකෝ සඳුනි , මෙයා බයවෙලා වගේ ඔයා දිහා බලං ඉන්න හැට්"

    මගේ සිහින ලෝකේ චාරිකාව නිමා වුණේ එයාගේ යාළුවෙක් මාව පෙන්නලා කරපු විහිළුව නිසා.මාව සීතල වුණා.ලැජ්ජාව වැඩි වුණත් ඒ ලස්සන ඇස් දෙකෙන් , මගේ ඇස් දෙක අයින් කරගන්න මගේ හිත මට ඉඩ දුන්නේම නැහැ.

     "කෙල්ලො දැකල නැතුව වගේනේ බලන්නේ ; මාර කුකුළෙක් වගේ.පරිස්සමෙන් සඳුනි"

     ඒ පාර තවත් ඇනුම් පදයක්.මේ කෙල්ලන්ගේ කටවල් නං හොඳටම වැඩියි.හැබැයි ඒ දඟකාර කටවල් වලට පිං සිද්ධවෙන්න , මම එයාගේ නම දැනගත්තා ; " සඳුනි ....."

      මම එයා දිහා බලං හිටියා වැඩියි කියලා මට තෙරුණේ ටික වෙලාවක් ගියාමයි.මම හෙමිහිට බිම බලාගත්තේ හිතේ ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න හිතාගෙන.සඳුනිත් වැඩි කතාවක් බහක් නැති කෙල්ලෙක් කියලා එයාගේ හැසිරීමෙන්ම මට දැනුණා.ඒකටත් එක්ක එයාගෙ යාළුවෝ ටික!!!!

    ආයෙමත් ඔළුව උස්සලා බලද්දී සඳුනිත් යාළුවන්ගේ කතාවට හිනා වෙනවා.හැබැයි ඒ හිනාව සමච්චලයකටනං නෙවෙයි.නෑ!ඒ තරං අහිංසක කෙනෙකුට , කාටවත් සමච්චල් කරන්න බැහැ.ලැජ්ජාව නිසාද කොහෙද , එයත් බිම බලාගන්නවා මම දැක්කා.


පරදවන
 නිල් තරු
 ලස්සනයි
ඔය නෙතු..


සිනාසෙන
මුතු කැට


සඳක් වන්
ඔය වත


පරදවන
සුරඟන
නිවාලයි
මා සිත..

   අපේ ප්‍රදර්ශන කුටිය පුරාම එයා ,යාළුවොත් එක්ක ඇවිද්දා.ඒ හැම තත්පරයක් පාසාම මගේ ඇහැ,හිතත් එක්කම එයාවම ලුහුබැන්දා.

   
      මගේ වයසේ වෙනත් පිරිමි ළමයි කරන විදියට එයාගෙ පස්සෙන් ගිහින් එයා එක්ක කතා කරන්නවත් , මගේ ටෙලිෆෝන් නොම්මරය එයාට දෙන්නවත් ඕනි කියලා මට හිතුනේ නැහැ.මොකද ඒ වෙලාවේ මගේ හිතේ ඇති වුණේ උමතු ආදරයක් නෙවෙයි.ඒත්, අනේ මංදා.හිත හෙල්ලුනා , කවදාවත්ම නොවෙච්ච තරං.

       "සමහරවිට ගිය ආත්මේ මම ලඟින් ආශ්‍රය කරපු කෙනෙක් වෙන්න ඇති" ,

       එහෙම හිතලා මම සැනසුණා.

       ඒත් ඒ ලස්සන , ඒ හිනාව , ඒ ගමන .... මගේ හිතේ තැන්පත් වුණා.

       "සඳුනි............"
*** 

     මම එදා ගෙදර ගියේ සඳුනි ගැන හිත හිතා,හීන මව මවා.ඒ හීන ලස්සනයි.
     කොහොමත් , සැබෑ ලෝකෙට වඩා හීන ලෝක ලස්සනයි , සුන්දරයි.සැබෑ ලෝකේ වගේ නෙවෙයිනේ.හීන ලෝක වලදි හැමදේම සිද්ධ වෙන්නෙ අපිට ඕනි විදියට විතරමයිනේ.ඒත් ඒ හැමදේම , බොහෝවිට හීන වලටම විතරක් සීමා වෙනවා.එතකොටයි අපිට දුක හිතෙන්නේ.


     හ්ම්...
     සඳුනි...ඇත්තටම මට ඔයා හීනයක් විතරයි.අහම්බෙන් හම්බුණු සුරංගනාවියක්.
   
    ගෙදර ගිහින් ඇඟ පත හෝදගන්නවත් හිතුනෙ නැහැ,කෙලින්ම ගියේ ඇඳට.ඇස් පියාගත්තු ගමන් පේන්නේ ඒ ලස්සන ඇස් දෙක විතරමයි.එයා මගේ හිත ඇතුලෙ ඇවිදිනවා.ඒ අහිංසක හිනාව,ඒ ගමන , ඒ ලස්සන , කොහොම අමතක කරන්නද....


ඔය කෝල ඇස්
මා නෙත් මානෙමයි...
සුකොමාල බැල්මන්
මා සිත් නිවයි...

තරු බෝම ඈතයි
ඔබ මා ලඟයි...
තනිකම මකයි
ඔබ මට තනි රකියි...

        මගේ හිත සිංදුවක් මුමුණනව.හැබැයි මම අදටත් දන්නේ නෑ ඇයි මම එක මොහොතකට දැකපු ඒ ඇස් දෙක ලඟ මගේ හිත නතර උනේ කියලා.සමහරවිට හැමෝගෙම ජීවිතවල එහෙම වුණ වෙලාවල් ඇති.ජීවිතේ වෙන මේ වගේ සමහර දේවල් හරිම පුදුමයි.ඒවට හේතුවක් හොයාගන්නත් හරිම අමාරුයි.


  මට ආපහු සඳුනිව හම්බුවෙන්න ඕනි කියල දැනුනා.ඒත් ඒ කොහොමද,කොහෙදිද කියල මම දැනං හිටියේ නැහැ.හැබැයි මම ඒ දවස එනකං බලං හිටියා ; එහෙම දවසක් එයි කියලා හිතෙං හිතුවා.


*****

     " ආ !! කසුන්.උඹ මොකද මේ පැත්තේ ?අළුතෙන්ද මේ පංතියට ආවේ?මීට කලිං උඹව දැකලා නෑනේ මෙහෙදි අපි"

    අපේ ඉස්කෝලේ යාළුවෙක් මගෙං එහෙම ඇහුවේ ගාල්ලේ ටවුන් එකේ තියෙන කොමර්ස් පංතියට මම අළුතෙන්ම ගිය දවසේ.ඒ වෙනකොට උසස් පෙළ පටන් අරන් මාස හයක් හතක් ගිහිල්ලා තිබුණත් , මට හරියට කොමර්ස් පංතියක් හිතට අල්ලලා තිබ්බේ නැහැ.

    "ඔව් සමීර,අද තමයි පළවෙනි දවස.තාම හරි හමං ක්ලාස් එකක් සෙට් උනේ නෑ බං"

     අපේ කතාව අතරේ , අපිට එහා පැත්තේ පේලියට ගෑණු ලමයි ටිකක් ආවා වාඩිවෙන්න.මම හිටියේ අපේ බංකුවේ දකුණු පැත්තේ කෙළවරේ.ඊට එහා පත්තේ තමයි ගෑණු ලමයින්ගේ බංකු තිබ්බේ.පේලි අතරේ වැඩි ඉඩක් නොතිබ්බ නිසා එහා පැත්තේ වාඩිවෙන්න ආපු ගෑණු ළමයෙක්ගේ බෑග් එකක් හදිසියේම මගෙ මූණේ වැදුණා.

    "සොරී...."

   මුන් ඉතින් ඕනි එකක් කරල , "සොරීඊඊඊඊ...." කියල ශේප් වෙනවා!!!මොකාද දැන් සොරී කියල  ශේප් වෙන්න හදන්නේ කියල බලන්න මම ඒ දිහාවට හැරුණා.

   "සඳුනි...........!!!"
   ඔව්,එයාම තමයි!!මට දෑස් අදහගන්න බැරිවුණා.මාව දැකපු ගමන් එයාවත් තිගැස්සුණා කියලා මට දැනුණා.

   "ආ..! ඉට්ස් ඕකේ"

   මම බොහෝම අමාරුවෙන් වචන ගොනුකරලා කතා කළා.මම හිනා උනාද කියල මතක නං නෑ,මොකද ඒ වෙලාවේ මම ඒ තරංම තිගැස්සිලයි හිටියේ ඒත් එයා මාත් එක්ක යන්තං හිනාවේගෙන මට එහා පැත්තේ බංකුවෙන් වාඩිවුණා.සමහරවිට මාව අඳුනගන්න ඇති.

    මම පතපු හීනේ සැබෑ උණා.එයාව මට ආපහු හම්බවුණා!!!මගේ හිතට ඇතිවුණු සතුට....හරියට මුළු ලෝකෙම මට හම්බුණා වගේ.ඒ සතුටයි , සඳුනි මගෙ ලඟම එහා පැත්තේ වාඩිවෙලා උන්නු නිසා ඇතිවෙච්ච තිගැස්මයි නිසා පංතියේ ඉන්ටවල් දෙනකංම මට හිත එක්තැන් කරගෙන පාඩම අහගන්න බැරිවුණා.මගේ හිත තිබ්බේ මං ගාව නෙවෙයි,සඳුනි ගාව.

    "යන්නැද්ද කසුන් මුකුත් කාල එන්න?"

   සමීරගේ කටහඬින් තමයි මම කොහෙද ඉන්නේ කියල මතක් වුණේ.

   "සමීර,මගේ ඔළුව ටිකක් රිදෙනව වගේ.මං පන්තියට වෙලා ඉන්නං , උඹලා ගිහිං වරෙන් "
   මං බොරුවක් කිව්වා.වෙන හේතුවක් නිසා නෙවෙයි,සඳුනිත් එක්ක කතා කරන්න පුදුම ආසාවක් මගේ හිත ඇතුළෙන් මතු වෙවී තිබුණු නිසා.
      මගේ යාළුවෝ ටික එලියට ගියා.ඒත් සඳුනිගේ යාළුවෝ ටික එයා වටේම ඉඳගෙන කච කචේ.ටික වෙලාවකින් එයාගේ යාළුවොත් එලියට යනවා මම දැක්කා.

     පුදුමයි!!!සඳුනි යාළුවොත් එක්ක ගියේ නෑ!

    එයා ඩෙස්ක් එකට ඔළුව තියාගන්නවා මම දැක්කා.සමහරවිට ඔළුව රිදෙනව ඇති.එයත් එක්ක කතා කරන්න ආසාවෙන් හිටිය මට,මීට වඩා හොඳ අවස්ථාවක් නොලැබෙන බව මට තේරුණා.මොකද එයාගේ මාර සේනාව ; "යාළුවෝ ටික" එයාව වටකරගත්තු ගමන්මනේ කොයි වෙලෙත්!!!

    පංතිය ඇතුළේ කෙල්ලො , කොල්ලෝ කතාකරනවා මට ඇහෙනවා.ඒ හැමෝම එයාලගේ ලෝකවල තනිවෙලා.සඳුනි එක්ක කතා කරන්න ඕනි වුණාට , හිත ඇතුලේ තිබ්බේ පුදුම චකිතයක්.මගෙ පපුව ගැහෙන සද්දේ,මටම ඇහෙනවා!!අන්තිමට හිතේ තිබුණු හැම දහිරියම එකතු කරලා මම එයාට කතා කළා.


      "එක්ස්කියුස් මී......"
මම කතා කරනවා ඇහිලා , ඩෙස්ක් එක උඩ ඔළුව තියාන හිටපු සඳුනි හිමීට ඔළුව ඉස්සුවා.


   "මටද කතා කළේ ?"


    එයා හිමීට ඇහුවා.මාව හීතල උණා ඒ ලස්සන කටහඬ අහලා.වචන ගැලපෙන්නෙත් නැහැ.ඒත් මම අමාරුවෙන් වචන හොයාගෙන කතා කලා.


   "ඔව්...ඔයා සඳුනි නේද?"


  එයාගේ මූණ පුංචිම පුංචි හිනාවකින් පිරුණා.


   "ඔව්.මම තමයි සඳුනි..ම්...මං හිතන්නේ මාත් ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා.....ම්..ම්.....කොලේජ් එකේ ප්‍රදර්ශනේදි නේද??"


   "හ්ම්..මතකයි නේද?"


    ඒක අහලා එයාටයි මටයි දෙන්නටම හිනා ගියා.මොකද අපි දෙන්නම අඳුනන්නැති ගාණට කතා කළාට , එයත් මං ගැන තරමක් හරි මතක තියාගත්තු විත්තිය මට වගේම එයාටත් තේරුම් ගියා.


  "ඉතිං ඔයාගෙ නම කිව්වේ නෑනෙ මට"
   
    එයා හිනාවීගෙනම මගෙන් අහනවා.ඒ හිනාවට අදටත් මම ආසයි.ඒ ලස්සන ඇස් කොහොම අමතක කරන්නද?හිනාවෙනකොට ඒ සුදු මූණේ තිබ්බ අහිංසකකම....





  "මම කසුන්"


  ඒ ලස්සන සුරංගනාවිට මම උත්තර දුන්නා.....


 ***

     ඔන්න ඔහොමයි මම මුලින්ම සඳුනිත් එක්ක කතා කලේ.මම නොහිතපු ඒත් මම පතපු විදියටම එයා මගෙ ලඟට ආපහු ආවා.ඒක හරිම පුදුමයි.ඒත් , කාව හරි හම්බවෙන්න තියෙනවනං , අනිවාර්යයෙන්ම එයාව හම්බෙනවා කියන කතාව ඇත්ත කියල මට එදා හිතුණා.

     එදා ඉඳන් අපි දෙන්නා යාළුවෝ විදියට ගොඩාක් ලංවුණා.හැමදාමත් සෙනසුරාදට පංතියේදි හම්බවෙලා කතාබහ කළා. පංති ඉවර වෙලා එකට බස් හෝල්ට් එකට ඇවිද්දා.ඒ අතරේ ගොඩාක් දේවල් කතාබහ කළා.ජීවිතේ ගැන , මිනිස්සු ගැන, අපි දෙන්නා කතාකළා.

     හැබැයි අපි එකතුවුණේ මිතුරන් විදියටයි.කතාබහ කලේ මිතුරන් විදියටයි.මගේ හිතේ එයා ගැන තිබ්බේ මිතුරු බැඳීමක් විතරයි කියල කියන්න මට බැහැ.ඒත් ආදරේ කියන දේ හුඟාක් දුරයි කියල මට හිතුණා.අනික මිතුරෝ විදියට ඉඳලා දෙන්නා හොඳටම අඳුනගෙන ඊටපස්සේ ආදරේ කරන එක හොඳයි කියලයි මට හිතුණේ.ඒ නිසා මම වැඩිපුර දෙයක් සඳුනිගෙන් බලාපොරොත්තු වුණේ නැහැ,තිබුණු ලෙංගතු මිත්‍රත්වය හැරෙන්නට.එයත් කවමදාවත් මගෙං එහෙම දෙයක් බලාපොරොත්තු වුණා කියල ඉඟිකළෙත් නැහැ.


    දැන් මට හිනා වෙන්න එපා,ඒත් ආදරේ කියන්නේ මිත්‍රත්වයෙන් ගොඩාක් දුර ගියපු දෙයක්.ඒත් හුඟාක් දෙනෙක් මිත්‍රත්වය කියන දේ වරදවා වටහාගන්නව ආදරේ කියලා.ඒ වැරැද්ද නිසා පස්සෙ කාලෙක හුඟක් දෙනෙක් දුක් විඳිනවා මම දැකලා තියෙනවා.ඉතිං ඒ නිසා සඳුනි මං ගාවට එනකං බලං හිටියා වගේම , එයාගේ ආදරේ ලබන්න තරං මම වාසනාවන්ත වේවිදෝ කියලා මම බලං හිටියා.

     දවසක්දා ඒ මොහොත මාව හොයාගෙන ආවා.ඒත් ඒ මම නොහිතපු විදියකට.

***


     හැමදාමත් වගේ මමයි සඳුනියි පංති ඉවරවෙලා ගාළු කොටුව ලඟ බස් හෝල්ට් එකට ගියා.

        "කසුන් , යමුද අපි කොටුවට ? මට ආසයි ටිකක් වෙලා මුහුද දිහා බලං ඉන්න , ඔයත් එක්ක ටිකක් කතා කරන්න , නිදහසේ."
     අකමැතිවෙන්න හේතුවක් තිබුණේ නැහැ.මමත් සඳුනිත් එක්ක නිදහසේ කතාකරන්න ඕනිකමින් තමයි හිටියේ.අපි දෙන්නා ගාළුකොටුවට ඇවිද්දා.ගිහිල්ලා මුහුද අයිනේ තිබ්බ බංකුවක වාඩිවුණා.සඳුනි මුහුද දිහා බලං හිටියේ පොඩි එකෙක් වගේ.මුහුදු සුලඟට එයාගේ ලස්සන කොන්ඩේ ලතාවකට ගැස්සෙනවා.


"කසුන් , ඔයාගෙන් මම දෙයක් අහන්නද?"

මගෙ හිතේ ගැස්ම වැඩිවුණා.මම බලං හිතපු මොහොතද මේ ?

"අහන්න සඳුනි "


" කසුන් , ඔයා කවදාහරි කෙල්ලෙක්ට ආදරේ කරලා තියෙනවද ? "

    සඳුනි මගෙ ඇස් දෙකට එබිකං කරගෙන ඇහුවා.ඒ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන මම සඳුනිට ඇත්තම කිව්වා.

"මම හිතනවා කවදහරි මගේ ආදරේ මාව හොයාගෙන ඒවි කියලා.ඒ මොහොත එනකං මම බලං ඉන්නවා.සමහරවිට ඒ ආදරේ මට කවදාවත්ම නොලැබෙන්නත් පුලුවනි,ඒත් මම බලං ඉන්නවා සඳුනි."

           සඳුනිගේ ඇස් වලින් මගේ ඇස් අමාරුවෙන් අයින් කරගත්තු මම ඈත මුහුද දිහා බලාගත්තා.මොහොතකට අපි දෙන්නම නිහඬ වුණා.

"ඔයා මට ආදරේ කරනවද කසුන් ?"

     ඒ ප්‍රශ්නෙට මාව ගැස්සුනා.මගේ හිත මොහොතකට නතරවුණා වගේ දැනුනා.සඳුනි අහපු ඒ ප්‍රශ්නේ ඉස්සරහ මම මොහොතකට නිරුත්තර වුණා.
***
මොහොතකට නිරුත්තරවුණ මම , සඳුනි අහපු ප්‍රශ්ණෙට හිත පතුලෙන්ම ආපු සැබෑ උත්තරේ හිමීට ඒ අහිංසක ඇස් ඉස්සරහා මෙහෙම ගැලපුවා;

"ජීවිතේටම සිදු නොවිච්ච තරම්ම මගේ හිතට සමීප වුණේ ඔයා සඳුනි!!!වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට මෙහෙම සමීපවෙලා නෑ.හීනෙකිංවත් නැහැ.

හැබැයි මම ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ නැහැ.මොකද එහෙම දෙයක් ලැබෙනවනම් , ඒක මට ලැබේවි කවදාහරි.

ඔයා මට මගේම නංගි කෙනෙක් වගේ.එතනින් එහා ගිය දෙයක් මම ඔයා ගැන හිතලා නෑ.මගේම නංගි කෙනෙක්ට වගේ මම ඔයාට ගොඩාක් ආදරෙයි සඳුනි."

    මගේ වචනයක් වචනය පාසා සඳුනිගේ ඇස් වලට කදුළු ඉනුවා මම දැක්කා.ඒත් එයා ඇඬුවේ නෑ!ඒ ඇස් වල පිරිල ඉතුරුණේ මං වෙනුවෙන් එයාගේ හදවතේ තිබුණු සෙනෙහස කියලා මගේ පුංචි හිතට දැනුණා.ගොඩාක් දේවල් දිගට කියන්න හිටිය මට , එතනින් එහාට මුකුත් කියාගන්න බැරිවුණා.ඒ අහිංසක ඇස් ඉස්සරහා මම ආයෙත් ගොළුවුණා.

    සඳුනියි මායි මොහොතක් යනකං අපේම ඇස් දිහා බලාගෙන හිටියා.මොහොතක් වුණත් කල්පයක් තරං දිගයි කියලයි මට දැනුණේ.


  මොහොතකින් සඳුනිගේ අහිංසක මූණ ආයෙමත් අර ලස්සන හිනාවෙන් පිරුණා.

-------------------------------------------------------------------------------------------------------------

කසුන්.....

සමහරු කියනවා හොඳ යාළුවෙක් ලබන්න ගොඩාක් පිං කරන්න ඕනි කියලා.

ඉතිං මමත් ගොඩාක් පිං කරලා ඇති මෙච්චර කෙටි කාලෙකින්,හදවතට ගොඩාක් සමීපවෙච්ච,ඔයා වගේ යාළුවෙක් ලබන්න.



මං පොරොන්දු වෙලා කියන්නං , ඔයාව කවදාවත් මගේ හිතේ මතකයක් විතරක් කරන්නෑ කියලා.

ඒත් ඉතිං ඉතිරිය ඔයාට බාරයි.

ඔයාට මගේ මිත්‍රත්වය එපාවුණු දවසට මං හරිම අසරණ වේවී.
මොකද එදාට ඔයාගේ හිත වෙනස්කරන්න මට පුලුවංද කියලා දන්නේ ඔයාම විතරයි.

ඉතිං මගේ මේ පුංචි ජීවිත කාලේදි,ඔයා මගේම සොහොයුරෙක් වෙලා , හැමදාමත් මගේ ලඟින්ම ඉඳියි කියලා අහිංසක විදියට ප්‍රාර්ථනා කරන්නං.

ඒ ප්‍රාර්ථනාව බොඳ කරන්න එපා ; කවදාවත්ම එපා ...

ඔයාගේම සඳුනිගෙන්.....

--------------------------------------------------------------------------------------------------------------

      " ඇයි සඳුනි හදිසියෙම මෙහෙම දෙයක් මගෙන් ඇහුවේ ? "

     සඳුනි මගේ ඇස් දෙකෙන් එයාගේ ඇස් අයින්කරගෙන ඈත මුහුද දිහා බලාගත්තා.

      "නෑ කසුන්,මට බයයි ඔයා මගේ සමීපකම වැරදියට තෙරුං ගනියිද කියලා.මං දන්නවා , ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා,ඒත් මට බය හිතුණා.ඒකයි ඇහුවේ.මොකද ඔයා වගේ යාළුවෙක් මට කවදාවත් ආයෙමත් හම්බවෙන එකක් නෑ.ඉතින් ඒ වගේ යාලුවෙක්ව නැතිකරගන්න මම කැමති නෑ කසුන්"

 
     "නෑ සඳුනි , කවදාවත් එහෙම වෙන්නෙ නෑ!ඔයාට මාව යාළුවෙක් , සහෝදරයෙක් විදියට ඕනිකරනතාක් මම ඔයා ලඟින්ම ඉන්නං.එතනිං එහා ගිය දෙයක් මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ සඳුනි.කවදාවත්ම නෑ!"


       "එහෙනං ඉතිං ඔයාට තව වැඩි කාලයක් මාත් එක්ක ඉන්න ලැබෙන්නේ නෑ!"

    මාව ගැස්සුණා!! "ඇයි ඒ??" මගේ හිත කෑ ගහල අහනවා!


    මට ඉබේම සඳුනි දිහා බැලුනා.මගේ ඇස් දෙකෙන් මගේ හිතේ තිබුණු දේ සඳුනිට දැනෙන්න ඇති.

       "අයියෝ කසුන්!විහිළුවක් කලේ!හිත රිදුණා නං සමාවෙන්න!මම වැඩිය හිතුවේ නෑ." 

    අහිංසක කම මූණේ පුරෝගෙන ඒ අහිංසකී සමාව ඉල්ලනවා.මගේ මූණට යාන්තං හිනාවක් ආවා.

     ටික වෙලාවක් යනකං සඳුනි මගේ ඇස් දිහා බලං හිටියා.ඒ නිහඬබව බින්දේ සඳුනිමයි ;

    "ඒත් කසුන්,ජීවිතේ කියන්නේ විස්වාස කරන්න බැරි , මහ අරුම පුදුම දෙයක්.අපි හිතන පතන හැමදේම ඒ විදියට ඉෂ්ට වෙනවනං , මේ ලෝකේ මීට වඩා කොච්චර ලස්සන වෙයිද කසුන්.ඒත් ඒව එහෙම වෙන්නේ නෑ!"

     ඒත් එදා සඳුනි කියපු ඒ වචන ටිකේ තේරුම එවේලේ මට නොතේරුනත් , එයා මට ඒත්තුගැන්නුවේ මොකක්ද කියලා අද නං මට හොඳටම පැහැදිලියි.

"..ජීවිතේ කියන්නේ විස්වාස කරන්න බැරි , මහ අරුම පුදුම දෙයක්...."


   ඒ වචන ටික අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා.ඔව්!ඇත්තමයි,ජීවිතේ හරිම පුදුමයි.ජීවිතේ විසින්ම ඕනවටත් වැඩියෙන් මගේ ඇස් පනාපිටම ඒ දේ ඔප්පු කරලා ඉවරයි.

***

     එදා ඒ ගමනෙන් පස්සේ සඳුනියි මායි අතර තිබුණු බැඳීම තව තවත් සමීපවුණා.ඒ විතරක් නෙවෙයි , හැමදාම පංති ඉවරවෙලා ගාළුකොටුවට ගිහින් මුහුද දිහා බලාගෙන ටික වෙලාවක් කතා කරන්නත් අපි දෙන්නා පුරුදුවුණා.සඳුනිටවත් , මටවත් කවදාවත් හිතුණේ නැහැ අපි කරන්නේ වරදක් කියලා.මොකද අපි දෙන්නා අතරේ තිබුණේ අයියා කෙනෙකුයි , නංගි කෙනෙකුයි අතරේ තිබුණු සහෝදර බැඳීමක් මිසක් උමතු ආදරයක් නොවෙනවග මම වගේම එයත් හොඳටම තේරුං අරගෙනයි හිටියේ.

    සඳුනි ජීවිතේ හැම මොහොතක්ම සතුටින් හිටපු කෙනෙක්.ජීවිතේ ගැන හැමවෙලේම තෘප්තිමත්ව කතාකරපු කෙනෙක්.ඒවුණාට එයා තමංගේ මුලු ජීවිතේම දුක්විඳපු කෙනෙක් කියලා මම දැනගත්තේ සෑහෙන කාලයක් ගිහිල්ලා.

***


    එදත් සුපුරුදු විදියට අපි පංති ඉවරවෙලා ගාළු කොටුබැම්මට ගියා.සඳුනි එදා මට ලොකූ කතාවක් කියන්න ලෑස්තිවෙන බව මට තේරුණා.

"කසුන්.."


"ම්...."

"මම දවසක් ඔයාව පොරොන්දු කරගත්තනේ මගේ පවුලේ අය ගැන අහන්න එපා කියලා?"

"ඔව්.මම අදවෙනකන් ඒ පොරොන්දුව කැඩුවේ නෑනේ සඳුනි?"


"ඇත්ත.ඒකයි මම හැමදාමත් කියන්නේ ඔයා වගේ යාළුවෙක් ලබන්න මම කොච්චර පිං කරලා තියෙද කියලා.

      ඒත් මට අද මගේ ජීවිතේ මම ඔයාට නොකියපු ඒ කතාවත් කියන්න ඕනි කසුන්.මම මේ ගැන කිසිම යාළුවෙක්ටවත් අද වෙනකං කියලා නෑ.ඒත් මට මේ විභාගේ ගැන තියෙන පීඩනෙත් එක්ක මේක තවත් හිතේ තියාගෙන් ඉන්න බෑ කසුන්."

ඒ ඇස් දුකෙන් පිරිලා.හිතපුරාම සඳුනි දුක්විඳින විත්තිය ඒ ඇස්වලින් මට දැනුණා.


"කියන්න සඳුනි.මම අහගෙන ඉන්නවනේ.මටත් ආසයි ඔයාගේ පවුලේ උදවිය ගැන දැනගන්න."

ඒ ඇස්වලට කඳුලු ඉනුවා.මම හේතුවක් දැනගෙන හිටියේ නෑ.


"මගේ යාළුවෝ හැමෝම හිතාගෙන ඉන්නේ මගේ අම්මයි තාත්තයි ඉන්නෙ රට,ඒ හින්දා මම මගේ පුංචිඅම්මා ගාව ඉන්නේ කියලා,ඒත් ඇත්ත ඒක නෙවෙයි...."

මම මේ වාඩිවෙලා ඉන්න තැන ඉඳගෙන,එදා සඳුනි එයාගේ ජීවිතේ ගැන මං ඉස්සරහා දුක,කඳුලු පිරුනු කතාවකට මුල පිරුවා.


".... අපේ පුංචි පවුලේ හිටියේ අම්මයි,තාත්තයි,මමයි මගේ අයියයි.අපේ තාත්තා කළේ කුරුඳු බිස්නස්.ඉතිං හොඳ ආදායමක් තිබුණු නිසා අපිට සල්ලිවලින් අඩුපාඩුවක් තිබුණේ නෑ.

අපි ගොඩාක් සතුටින් හිටියා.හැම සති අන්තෙකම අපි කොහේ හරි ඇවිදින්න යනවා.හුඟාක් වෙලාවට එන්නේ කොටුව පැත්තට.ඇවිත් රෑවෙනකංම ඉඳලා රෑටත් කොහෙන් හරි කඩේකින් කාලා බීලා සතුටුවෙලා තමයි යන්නේ.එතකොට මමයි අයියයි හරිම පොඩියි.

ඒත් කොහෙදෝ හැංගිලා තිබුණු අවාසනාවක් අපේ පුංචි පවුල හොයාගෙන ආවා.

මට අවුරුදු 8දී , මගේ අයියා අපිව දාල යන්නම ගියා!ඒ ඇක්සිඩන්ට් එකකින්.අයියා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට පාරේ ගිය බස් එකක් ඇවිත් අයියව අපෙන් සදහටම වෙන්කලා..

අපේ අම්මයි තාත්තයි , අයියගේ මරණේ නිසා සම්පූර්ණයෙන්ම මානසිකව වැටුණා.මට මතකයි අම්මයි තාත්තයි මාව බදාගෙන අඬපු හැටි.

සතිගාණක් යනකං අපි බඩපිරෙන්න බත් කටක් කෑවේ නෑ.මම ඒ කාලේ පොඩි එකා වුණත් මටත් අයියා නැති දුක ගොඩාක් දැනුණා.අයියා නැතුව මුළු ගේම පාළුවෙලා ගියා.

අයිය නැතුව මගේ මුළු ලෝකෙම පාළුවුණා.මගේ ලෝකේ මම තනිවුණා.අපේ අයියා මට ගොඩාක් ආදරෙන් හිටියේ.කවදාවත්ම රංඩුකරලා නෑ මාත් එක්ක.කවදාහරි මම දෙයක් ඉල්ලලා කෑ ගැහුවොත් ඒ දේ මට දීලා එය සතුටින් බලං හිටියා මිසක් වචනයක්වත් කියන්නේ නෑ එයා.එච්චරටම අහිංසකයි.මම අදටත් දුක්වෙනවා මගේ රත්තරං අයියා වෙනුවෙන්..."


සඳුනිගේ ඇස්වල තිබුණු කඳුළු කැට හෙමිහිට කම්මුල් දිගේ පහලට රූටනවා මට පෙනුණා.ඒ කඳුළු පිහදන්න තරං මට හයියක් තිබුණේ නෑ.සඳුනිගේ කතාවට සමවැදිලා උන්නු මටත් දැනුණේ මගේ හිතේ ගින්දරක් පත්තුවෙනවා වගේ.

මොහොතකට නිහඬ වුණු සඳුනි ,සුදුම සුදු පුංචි අත්දෙකෙන් කඳුළු පිහිදගෙන ආපහු කතාව පටංගත්තා... ;


"අයියා නැතිවෙලා ටික කාලයක් යනකොට තාත්තයි අම්මයි අතරේ ආරවුල් ඇතිවෙන්න පටංගත්තා.ඒකට හේතුව අදටත් මම දන්නේ නෑ!

රංඩුවෙලා ගෙදරින් යන තාත්තා සමහර දවස්වල ගෙදර එන්නෙත් නැහැ.ආවත් වැටෙනකංම බීල බීල වෙරි මරගාතෙං තමයි ආවේ.හැබැයි තාත්තා කොච්චර අසිහියෙන් හිටියත් අම්මටවත්,මටවත් කවමදාවත් අතක් ඉස්සුවේ නෑ.

ඒත් ඒ ආරවුල් හැමදේම ඉවරවුණේ මට අවුරුදු එකොලහක් වෙද්දී අපේ තාත්ත අපිව දාලා යන්න ගියාමයි.

මම දැනං හිටියේ නෑ ; ඒත් මම ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස්වෙලා කියන සතුටු ආරංචියත් අරගෙන ගෙදර එනකොට , අපේ අම්මා ගෙදර මුල්ලකට වෙලා අඬ අඬා ඉන්නවා.ආත්තම්මයි , පුංචි අම්මයි අපේ තාත්ත ගැන කිය කියා හොඳටෝම සාප කරනවා.මට මුකුත් තේරුණේ නැහැ.

පස්සේ කාලේක තමයි මට මේ දේවල් තේරුං ගන්න පුළුවන් වුනේ.ඒත් මම කවමදාවත් මගේ තාත්තට වෛර කළේ නැහැ!

මම මගේ තාත්තට අදත් , එදා වගේම ආදරෙයි.මොන වරදක් කළත් , ඒ මගේ තාත්තා...."

මම මේ ඉන්නේ සැබෑ ලෝකේද , හීන ලෝකෙද කියලා මටම හිතාගන්න බැරිවුණා.මෙච්චර සතුටින් ඉන්න සඳුනිගේ ජීවිතේ මෙච්චර දුකක්??මට විස්වාස කරන්නත් බෑ.ඒත් ඒ හැමදේම මගේ ඉස්සරහම ඇත්ත වෙනවා.

සඳුනි ගාළුකොටුවෙන් එපිට මහ සාගරේ ඈත සිතිජයට ඇස් යැව්වා..සමහරවිට ඈත ආකාසේ , එයාට එයාගේ තාත්තගේ රූපේ මැවිලා පේන්න ඇති.


දිග හුස්මක් හෙළාපු සඳුනි , එයාගේ කතාවේ අන්තිම කොටසත් මං ඉස්සරහ අහිංසක විදියට දිගහැරියා...; 

"තාත්තා අපිව දාලා යද්දී අපේ ගෙවල් දොරවල් හැමදේම ණයතුරුස්වලට උකස් වෙන්න ඔන්න මෙන්න තත්වයක් තිබුණේ.අපි වටේ හිටපු නෑඳෑයො , හිතවත්තු හැම දෙනෙක්ම අපෙන් ටික ටික ඈත්වෙන්න පටං ගත්තා.අපේ ගෙදර මූසල ගෙයක් විදියටයි එයාල හිතුවේ.

ඉතිං මේ හැමදේමත් එක්ක මාවත් උස්මහත් කරන්න අපේ අම්ම නොවිඳි දුකක් නැහැ.අන්තිමට අම්මා තීරණය කළා රට යන්න.මොකද අම්ම හොයපු සොච්චමෙන් අපිට ජීවත් වෙන්න හරිම අමාරුවුණා.මාව පුංචි අම්ම ගාව නතර කරපු අම්ම,මීට අවුරුදු හතරකට විතර කලින් , ඩුබායි යන්න පිටත් වුණා.

අම්මා කලමනාකරණය ඉගෙනගෙන තිබුණු නිසා හොඳ ආදායමක් තියෙන රස්සාවක් හොයාගන්න අම්මට අමාරුවුණේ නැහැ.ඉතිං අම්ම එහෙම හම්බුකරලා එවපු සල්ලිවලින් මං හොඳට කාලා , ඇඳලා හිටියා.ඒ වගේමයි මම හොඳට ඉගෙනගත්තේ , කවදාකහරි අපේ අම්මව සතුටින් තියනවා කියන අරමුණෙන්.

ඒත් අවාසනාව මගේ පස්සෙන්ම ආවා.මගේ අහිංසක අම්මා ; මාව උස්මහත් කරන්න සල්ලි හොයන්න රට ගිය අම්මා ; එහෙදි දරුණු උණ සන්නිපාතයක් හැදිලා , මාව මේ ලෝකේ කාත් කවුරුත් නැති අසරණියක් කරලා , මාව දාල යන්නම ගියා!

අපිට අම්මගේ බොඩීඑකවත් ලංකාවට ගෙන්න ගන්න බැරිවුණා.

අන්තිමට මං වෙනුවෙන් දුක් විඳපු අම්මා , මගේ මූණවත් දකින්නේ නැතුව , නන්නාඳුනන රටකදී මාව සදහටම තනිකරලා යන්න ගියා....."

ඒ වචන ටික අමාරුවෙන් ගොනුකරපු සඳුනි නිහඬවුණා.

හරියට එයාගේ මුලු ලෝකෙම නිහඬවුණා වගේ.

      මෙච්චර දුකක් විඳගෙන ජීවත් වෙන්න කොච්චර ධෛර්යක් ඕනිද!කෙල්ලෙක් වෙලත් සඳුනි ඒ දුක දරාගෙන , ජීවිතේ අරමුණක් ඇතුව ජීවත්වෙනවා දැක්කාම පුදුමත් හිතෙනවා.

 සඳුනිගේ කතාව නිසා මම ගොළුවුණා.කියන්න ඕනි මොනවද කියලා මමවත් දැනං හිටියේ නෑ!

මේ වගේ කතා මම මීට කලින් කියවලා තිබුණේ කතාපොත්වල විතරයි.මම කවදාවත් හිතුවේ නෑ , මේ වගේ දේවල් සැබෑ ලෝකෙදි සිද්ධවෙනවා කියලා.ඒත් විස්වාස කරන්න බැරි ලෝකේ , මේ වගේ කතාත් තියෙනවා කියලා මට එදා තේරුණා.

ඇතිවුණ නිහඬබව බිඳගෙන සඳුනි කතා කළා ;  


"කසුන්,මොකද වුණේ?එකපාරටම මුළු ලෝකෙම අමතක කරලා වෙන ලෝකෙකට ගියාද?"

අහිංසකී...


"හ්ම්...."

සඳුනි අසරණ විදියට හිනාවුණා;

     "ජීවිතේ ඔහොම තමා කසුන්.කාටත් ජීවත් වෙන්න දුක් විඳින්න වෙනවා.ඒක තමයි ජීවිතේ හැටි.සමහරු පොඩි පොඩි සිද්ධි නිසා ජීවිතෙන් පැනලා යන්න හදන්නේ ජීවිතේ ගැන හරිහැටි තේරුං ගන්න බැරුව.මාත් ඒ විදියට හිතුවනං , මම මේ වෙනකොට දහස්වතාවක් මැරිලා කසුන්!"

     "ඒත් ඔයා ආදරේ කරපු හැමකෙනෙක්වම ඔයාගේ ජීවිතෙන් උදුරගෙන යන්න තරං ඔයාගේ දෛවය ඔයාටම නපුරුවෙලා!"


"ඔව් කසුන්.ඒත් ඒ දේවල් සිද්ධවෙන්න තිබුණු දේවල් වෙන්න ඇති.ඒත් ඒ හැමදේම වුණාටත් පස්සේ,ඔයා වගේ සහෝදරයෙක් , යාළුවෙක් මට ලැබුණෙත් ඒ දෛවය නිසාම නේද?

මගේම සහෝදරයෙක්ට වගේ ආදරේ කරන්න පුළුවන් ඔයා වගේ මිතුරෙක් මට ගෙනත් දෙන්නත් , ඒ දෛවයම තීරණය කළා නේද කසුන්?"

මට ඉබේම සඳුනි දිහා බැලුණා.

"ඔව් කසුන්...මගේ ජීවිතේට ආපහු මගේම අයියා ආවා වගේ.ඒ අහිංසකකම , ඒ ආදරේ , ඒ සුවඳ... ඒ හැමදේමත් ඔයාගාව තියෙනවා කසුන්.මේ ලෝකේ කාත් කවුරුවත් නැතිව තනිවුණ මට , මගේම කියලා කෙනෙකුට ඉන්නේ ඔයා විතරයි කසුන්.මට දැන් තියෙන එකම බය,ඔයාව මට කවදාහරි නැතිවෙයිද කියලයි කසුන්!"

අහිංසක ඇස් කතාකරනවා.

දුක,කඳුළු,මතක, ඒ ඇස්වලින් දෝරේ ගලනවා.


    සඳුනිගේ හිතේ හිරවෙලා තිබුණු වේදනාව , කඳුළු කැටවෙලා එලියට පනින්න හදනවා.ඒ වගේමයි ලොකු බලාපොරොත්තුවක් ඒ ඇස් වලින් මම දැක්කා!ඒ හැමදාමත් , සහෝදරයෙක් විදියට එයා ගාවින්ම ඉන්න කියන ආයාචනය.

    ඒ ලස්සන මූණ දිහා බලං ඉන්න තවත් මට දහිරියක් තිබුණේ නෑ!මගේ හිතත් ඇඬුවා.මගේ ඇස්වලට කඳුළු ඉනුවේ මටත් නොකියාමයි.

 "නෑ සඳුනි , කවදාවත්ම නෑ!ඔයාගේ තනියට , මං හැමදාමත් ඔයා ලහින්ම ඉන්නවා."

නොදන්න අනාගතයක් වෙනුවෙන් මම , එදා සඳුනිගේ සීතල අත අල්ලගෙන දුන්නු පොරොන්දුවට , අදටත් ගාළුකොටු බැම්ම සාක්ෂියි!

----------------------------------------------------------------------------------------------

සඳුනි...

අඬන්න එපා,
මම ඉන්නවනේ ලඟින්,
දුකක් දැනුනොත් මට කියන්නකෝ,
මම ඒ දුක මගේ කරගන්නං,
ඔයා අඬන්න එපා,
කඳුලු මට දෙන්න,
ඔයා වෙනුවට මම අඬන්නං,
ඔයා හිනාවෙලා ඉන්න,
හැම මොහොතකම,
ජීවිතේ සතුටින් ඉන්න,
ජීවිතේම මගේ ලඟින් ඉන්න,
ආදරෙන් බලාගන්නං,
මගේම නංගියෙක් වගේ...

 
සත්තයි,
මගේ හුස්ම තියෙනකං,
ලඟින්ම ඉන්නං ,
මගේ ජීවිතේම,
ඔයා වෙනුවෙන්,
පූජා කරන්නං,
මගේ ආදරණීය නංගියේ..

ඔයාගෙම අයියා,
කසුන්ගෙන්... 

----------------------------------------------------------------------------------------------

     මටත් මගේම කියලා සහෝදරයෙක්වත් සහෝදරියක්වත් හිටියේ නෑ.ඉතින් ඒ තනිකමට සඳුනි මගේම සහෝදරියක් වෙලා මගේ තනිකම රැක්කා.



     ඇත්ත ; සඳුනි මේ ආත්මෙදි මගේම සහෝදරියක් නොවුණට, පෙර භවයකදි අපි එක කුස උපන් දෙන්නෙක් වෙලා ඉන්න ඇති.සඳුනිව දැකපු මුල්ම වතාවේදි මට දැනෙන ඇත්තේ ඒ හැඟීම වෙන්න ඇති.


     ඒත් මේ හැමදේම වෙනස් වෙන්න ගතවුණේ බොහෝම කෙටි කාලයක්.අපි නොහිතපු,මම නොපතපු දවසක අපේ ජීවිත හොයාගෙන "අවාසනාව" ආවා.එදා ඉඳන් අපි අපේ ජීවිත විඳෙව්වා.ජීවිතේ පිරිලා ඉතිරිලා තිබුණු සතුට යටකරගෙන, අපේ ජීවිත කඳුළු වලින් පිරුනේ මේ සිදුවීමෙන් පස්සේ.


     උසස්පෙළ ඉවරවෙලා දවස් ටිකකට පස්සේ සඳුනි මට කෝල් කරලා කිව්වා මාත් එක්ක හුම්මානේ බලන්න යන්න ආසයි කියලා.විභාගේ හින්දා මාසයක් යනකන්ම මට සඳුනිව මුණ නොගැහිච්ච නිසා මාත් සඳුනිව හම්බෙන්න යන්න මොහොතක් එනකන් මඟ බලං තමයි හිටියේ.


    ඉතින් සඳුනියි මායි හුම්මානේ බලන්න යන්න පිටත්වුණා ඊලඟ දවසෙම.


    හවස් වෙනකොට එන්න පුලුවන් නිසා, මම ගෙදරට කිව්වේ මාතර යාළුවෙක්ගේ දිහෑ යනවා කියලා.සඳුනිනං පුංචි අම්මට මාත් එක්ක යන බව කියලා තිබ්බා.අපි දෙන්නා ගාල්ලෙන් බස් එකකට නැඟලා පිටිමපස්සේ සීට් එකෙන් වාඩිවුණා.සඳුනි මාත් එක්ක එදා ගොඩාක් දේවල් කියන්න ලෑස්තිවෙන බව මට තේරුණා.


---------------------------------------------------------------------------------------------------------

කසුන් ,


හොඳ මිතුරෙක් ලැබෙන්න,
ආත්ම ගානක්
පිං කරන්න ඕනි කිව්වට ,
ඔයා මගේ යාළුවෙක් වුණේ,
පුදුම කෙටි කාලෙකින්..

ඇත්තටම පුදුමයි!

ඒත් සමහර දේවල්
ඉක්මනට ලැබෙනකොට
ඒ ඉක්මනටම නැතිවෙනවා කියන්නෙත්,
ඇත්තම ඇත්තයි...

ඉතින් ඒ නිසා මට හම්බුණු ඔයා,
සමහරවිට මට ඉක්මනටම අහිමිවේවී,
ඒත් අපි එකට ගතකරපු මේ මතක,
හැමදාටම අපේ හිත්වල රැඳේවී නේද?

***

කවමදාවත් ඔය අහිංසකකම , ලස්සන හිනාව,
ආදරණීය මිත්‍රත්වය පාවා දෙන්න එපා.....
හැමදාමත් ඒ ලස්සන ඔය හිතේ තියාගන්න,

මොකද සමහරු ජීවිතෙන් පැනලා යන්න හදද්දී,
ඔය වගේ හිතක ලස්සන දැකලා,
ජීවිතේට ආයෙමත් ආදරේ කරන්න පටන් ගනීවී...

ඉතිං ඔය ලස්සන හිතෙන්,
මට ඔයා දුන්නු මිත්‍රත්වය නිසා ,
ආයෙමත් ජීවිතේ තුළ සැබෑවටම ජීවත්වෙන්න මම වරම් ලැබුවා....

ඔයා කලේ ලොකූම ලොකු පිනක් කසුන්.....


ඔයාගේම,

 සඳුනිගෙන් ...


------------------------------------------------------------------------------------------------------------


"ඉතින් කොහොමද විභාගේ කසුන්?" 

ඒ අහිංසකකම පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ!
 
"විභාගේ තිබ්බා,මමත් ගිහින් ලිව්වා,විභාගේ ඉවරවුණා....එච්චරයි!" 

විහිළුවට වගේ මම කියෝගෙන ගියා.සඳුනිත් මගේ දිහා බලන් හිනාවෙවී ඉන්නවා.
"ඉතින් ඔයාට කොහොමද විභාගේ?"

"මටත් ඔච්චරම තමයි"
 
    අපි දෙන්නත් එක්ක හිනාවෙවී විභාගේ ගැනයි,පේපර්ස් ගැනයි කතා කලා දිගටම."අනාගතේ කරන්නේ මොනවද" , "ජීවිතේ මොන වගේ වෙනස් වෙයිද" , "අපි විභාගේ පාස් වෙයිද" ඕව තමයි අපි දෙන්නගේ මාතෘකා වුනේ.

     අපි දෙන්නටත් නොදැනීම බස් එක අපිවත් අරන් මාතරට ඇවිත් තිබුණා.මාතරින් බැහැගත්තු අපි දෙන්නා දික්වැල්ල හරහා හුම්මානෙට යන බස් එකකට ගොඩවුණා.බස් එකේ වාඩිවුණ ගමන් මෙච්චරවෙලා හිනාවෙවී කතාබහ කරපු සඳුනි මහාලොකු කල්පනාවක ගිළුනා.බස් එක ගමන පටං ගත්තා.

 "සඳුනි"

"ම්...."

"ඇයි හදිසියෙම කතා බහ නවත්තලා බර කල්පනාවක ගිළුණේ?"
ඒ ඇස් මං දිහා හෙමිහිට බැලුවා.

"කසුන්..."

"ම්..."

"මට ඇත්තටම දුකයි කසුන් ඔයා ගැන"

"ඇයි ඒ?"

     "මතකද ඔයා දවසක් මට කිව්වා ඔයා මට ඔයාගෙම නංගියෙක්ට වගේ ආදරෙයි , ඒ වුණත් කවදහරි මගේ ආදරේ ඔයාට වෙනත් විදියකට ලැබුනොත්,ඒක භාරගන්නත් කැමැත්තෙන් ඉන්නේ කියලා?ඔයා කිව්වේ ඒ දවස එනකන් ඔයා ඕනිම තරන් කාලයක් මඟ බලං ඉන්න ලෑස්තියි කියලයි.මතකද කසුන්?"

"හ්ම්...මතකයි සඳුනි.මම අදටත් හිතන්නේ ඒ විදියටමයි"

"අපි දෙන්නා අද වෙනකන්ම ආශ්‍රය කළේ යාළුවෝ විදියටයි කසුන්"
"හ්ම්.."

"දැන් විභාගෙත් ඉවර නිසා ඔයා සමහරවිට මගෙන් මිත්‍රත්වයෙන් එහා ගිය දෙයක් බලාපොරොත්තු වෙනවා ඇති කසුන්"
     සඳුනි ආයෙමත් මගේ දිහා බැලුවා.ඒ ඇස් දෙකෙන් මගේ ඇස් දෙක අයින් කරගන්න හිත ඉඩ දුන්නේ නෑ.සඳුනි කියාගෙන ගිය දේ මගේ හිතේ කොහේ හරි හැංගිලා තියෙන්න ඇති.ඒ නිසා සඳුනිගේ අහිංසක ඇස් ඉස්සරහා මම ආයෙමත් ගොළුවුණා.


"ඒක එහෙම නේද කසුන්?"

"ම්... ඇත්ත සඳුනි.එහෙම හිතපු එක වරදක්නං මට සමාවෙන්න.ඒත් කවදාවත්ම කෙල්ලෙක්ට මෙච්චර ලං වෙලා නැති මගේ ජීවිතේට ආපු එකම කෙල්ලත් ඔයා විතරයි.ඒ නිසා එහෙම හිතෙන එක පුදුමයක් නෙවෙයි සඳුනි"

"දන්නවා කසුන්.ඒකමයි අද මට ඔයා එක්ක මෙහෙම දුර ගමනක් තනියම එන්න ඕනි වුනේ.මොකද මට තියෙනවා දෙයක් ඔයාට කියන්න,මෙච්චරකල් මම ඔයාට නොකියපු"

"සඳුනි??" මට පුදුමෙන් කියවුනා.
"ඔයා කියන්න හදන්නේ මට කවදාවත් ඔයාගේ ජීවිතේට ආදරේ කරන්න බෑ කියලද?" 

මම මගේ හිතේ මෙච්චර කාලයක් තදකරන් උන්නු දේ සඳුනිගෙන් ඇහුවා.
සඳුනි හිමිහිට මගේ දිහා බැලුවා.ඒ ඇස්වල කඳුළු.
 
"සඳුනි?ඇයි මේ?"

"ඔ..ඔ...ඔයා පව් කසුන්..." සඳුනි ඉකිබිඳින්න පටන් ගත්තා.

"කසුන් මට සමා..වෙන්න කසුන්..."

"අඬන්න එපා සඳුනි.අපි ගිහින්ම කතාකරමු.නාඬා ඉන්න දැන්" 

සඳුනි එයාගේ මූණ මගෙ උරහිස්සට තියලා තදකරගත්තා.ජීවිතේ පලවෙනි වතාවට සඳුනිගේ කඳුළුවල උනුහුම මගේ උරහිසට දැනුනා.

 "නාඬා ඉන්න සඳුනි.."

   ඇයි සඳුනි මගෙන් සමාව ඉල්ලලා අඬන්නේ?සඳුනි කාටහරි කැමැත්ත දීලද?එහෙමත් නැත්තන් කවුරුහරි සඳුනිගෙන් බලෙන් කැමැත්ත ඉල්ලනවද?මොකක්ද වෙන්නේ කියලා මට හිතාගන්නවත් බැරිවුණා.

"ආ හුම්මානේ ගාවින් බහින්න...කට්ටිය බැහැගන්න... බැහැගන්න...."

කොන්දොස්තරගේ කටහඬින් අපි දෙන්නම පියවි ලෝකෙට ආවා.
    
සඳුනි කඳුළු පිහිද ගත්තා.ඒ ඇස් මාව මඟ අරිනවා.හරියට ලොකූ වරදක් කරලා පසුතැවෙනවා වගේ.

සඳුනියි මායි හෙමිහිට ඉස්සරහට ගිහින් බස් එකෙන් බැස්සා.
සඳුනියි මායි හුම්මානේ වතුරමල ගාවට යන පාර දිගේ හිමීට ඇවිද්දා.දෙන්නගෙම හිත්වල තිබුණේ හිස්බවක්.සඳුනි කතාකළේවත් මා දිහා බැලුවේවත් නෑ.මගේ හිතේ පිරිල තිබුණේ ප්‍රශ්න පත්තරයක්!මොකක්ද අද වෙන්න යන්නේ කියල මගේ හිත මගෙන් කෑ ගහල අහනවා.ඒත් ඒ ප්‍රශ්නෙට මං ගාව උත්තර තිබුණේ නෑ!

"කසුන්.."


හැමදාමත් අහන්න ආසා කරපු සඳුනිගේ කටහඬ...

"කසුන් ඇයි ඔයා මුකුත් කියන්නැත්තේ?"


"මොනවා කියන්නද සඳුනි.ඔයා මාව පඹගාලකනේ පැටලුවේ.ඔයාගේ හිතේ තියෙන හැමදේම කියල ඉවරවෙනකං මට මුකුත්ම හිතා ගන්න බෑ!"

"දන්නවා කසුන්.වෙන පිරිමි ලමයෙක්නං මෙලහකට මගේ කම්මුලට ගහල යන්න ගිහින්."


මට සඳුනි දිහා බැලුනා.එයා දුර ඈත බලාගෙන ඇවිදිනවා.

"මට කියන්න සඳුනි.මොකක්ද ඔයා ඔච්චරම දුක්වෙන ප්‍රශ්නේ?" මට ඉවසිල්ලක් තිබුනේ නෑ ඒක දැනගන්නකං.


"ජීවිතේ හරි පුදුමයි කසුන්.ජීවිතේ දුක් කරදර අමතක කරලා සතුටින් ජීවත් වෙන්න හදනකොට,ආයෙමත් කොහෙන්හරි දුකක් අපිව හොයාගෙන එනවා."

හුම්මානේ ගල් දෙබුක්කාවෙන් එන වතුර පාරේ ස්...ස්.... සද්දේ දැන් ඇහෙන මානේ.


"ඔයාගේ ජීවිතේ දුක්විඳපු කාලේ ඉවරයි සඳුනි.ඔයා දැන් ජීවිතේ දිනන පාරට ඇවිත්.කැම්පස් ගිහින් ඉගෙන ගෙන ජීවිතේ දිනාවි ඔයා."

සඳුනි මගේ දිහා බැලුවේ ලොකූ දුකක් හිතේ පුරෝගෙන කියල මම දැක්කා.ටික වෙලාවකින් සඳුනිගේ මූන පරාජිත හිනාවකින් පිරුනා,

"අපි හිතන හැම්දේම ඒ විදියටම වෙනවනන්,මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද කසුන්....;

අවාසනාවට,ඒ දේවල් එහෙම සිද්ධවෙන්නේ නෑ!"

අපි මුහුද අයිනට එනකොටම , සූ..ස්.... ගාගෙන වතුර පාරක් අහසට විද්දා. මුහුදු හුලඟට ගහගෙන ආපු වතුර බිංදු වලින් අපිව නෑවුණා.

"ලස්සනයි නේ?"


"හ්ම්..."

අපි දෙන්නා හෙවන වැටිච්ච ගල්පොත්තක් උඩට ගොඩවෙලා වාඩිවුණා.මුහුද හෝ.... ගානවා.මගේ පපුවත් මුහුද වගේම කැලඹිලා.

 "කියන්න සඳුනි,හිතේ හිරකරන් ඉන්න හැමදේම කියලා හිත නිදහස් කරගන්න සඳුනි.."

" මගේ හිතට කවමදාවත් නිදහසක් ලැබෙන්නේ නෑ කසුන්.ඒත් මගේ හිතේ තියෙන දේ ඔයාට නොකිව්වොත්,ඔයා මං ගැන මහ නපුරු විදියට හිතාවි.මම ඔයාගේ ලෝකෙට ඇවිත් ඔයාගේ ජීවිතේ විනාස කලා කියල ඔයා හිතාවි."


සඳුනි දිග කතාවකට පෙරුම් පුරනවා.

"කසුන් මම ඔයාට මගේ ජීවිතේ ගැන නොකිව්වේ එකම එක දෙයයි.ඒත් මම බලාපොරොත්තු නොවුනු විදියට ඒ දේ මට අද කියන්නම සිද්ධවෙලා.

කසුන්ට මතකයිනේ මං කිව්වා අපේ අම්මා රට ගියේ අපිට ජීවත්වෙන්න සල්ලි හිඟවුණ නිසා කියලා?

ඇත්තටම අපේ අම්මා රට ගියේ ඒ හින්දම නෙවෙයි කසුන්..."


සඳුනි අමාරුවෙන් වචන අහුලනවා.

"...මං ඔයාට නොකිව්වට....පොඩි කාලේ ඉඳලම..ම..ම..මම,පොඩි කාලේ ඉඳලම..., මම ලෙඩෙක් කසුන්!"


සඳුනි එදා කියපු වචන අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා.

"අපේ අම්ම රට ගියේ ඒ ලෙඩේට බෙත් කරන්න සල්ලි හොයන්න කියලා හිතාගෙන.මොකද මගේ ලෙඩේ නිසා මාසෙකට රුපියල් පනස්දාහක් විතර බේත් වලටයි,රිපෝට්ස් වලටයි වියදංවුණා."


සු...ස් ගාගෙන වතුර පාරක් අහසට නැංඟා.මගේ හිතේ දුකත් ඒ තාලෙටම හිත ඇතුලේ අඬනවා.උතුරලා යන දුකක් හිත පුරාම දැනුනා.

"...ඒත් ඔයා දන්නවා ඒ දේවල් අපි හිතපු විදියට සිද්ධ නොවුණු වග.මං නිසා දුක්විඳපු මගේ අහිංසක අම්මත්,අන්තිමට මාව මේ ලෝකේ තනිකරල සදහටම ඇස් පියාගත්තා .."


සඳුනිගේ ඇස්වල පිරිලා තිබුණු කඳුළු,කම්මුල් දිගේ දොරේ ගලන්න පටන් ගත්තා...එයාව සනසවන්න කියන්න ඕනි මොනවද කියලවත් මට තේරුණේ නෑ.මොකද මගේ හිතත් දුක නිසා හිරිවැටිලයි තිබුණේ.

සඳුනි ආයෙමත් කතාව පටන් ගත්තා...


"ඉතිං මගේ අම්මත් නැතිවුණාට පස්සේ මගේ ලෙඩේට බේත් කරන්න සල්ලි වියදං කරන්න මගේ පුංචි අම්මට පුලුවන් කමක් තිබුණේ නෑ.ඉතින් බේත් ගන්න එක එතනින්ම නතරවුණා.ඒත් පුංචි අම්මා පුළුවන් විදියට රජයේ ඉස්පිරිතාලෙන් මගේ බේත් ටික අරන් දුන්නා.ඒත් ඒ පාවිච්චි කරන්න ඕනි ප්‍රමාණෙන්,බොහෝම පොඩි ප්‍රමාණයක්.ඒකෙන් වැඩක් වුණේ නෑ"

"ඉතින් ඇයි සඳුනි මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ?" මම සඳුනිගෙන් ඇහුවේ හිත පුරෝගත්තු දුකකින්.

"නැහැ කසුන් ..මට මේව ගැන කියලා ඔයාගේ විභාගේ කිට්ටුව ඔයාගේ හිත රිද්දන්න ඕනි වුණේ නෑ කසුන්"

"ඒ කියන්නේ ඔයාගේ ලෙඩේ හොඳ කරන්න බෑ කියන එකද?"


මගේ ඇඟ කීරි ගැහුණා."හොඳ කරන්න බැරි ලෙඩක්!!"මං අහපු ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ ගැන මම ම බයවුණා.

"මැරෙන්න මම කවදාවත් බයවුණේ නෑ කසුන්.

ඒත් දැන්, මට බයයි කසුන්!මම මැරුණොත් , කසුන් ඔයාට මොකද වෙන්නේ?ඔයාගේ ජීවිතේ ඔයාගෙම නංගිවෙලා ලඟ ඉන්න පෙරුම් පුරපු මට ඔයාව දාල යන්න බෑ කසුන්....

ඔයාගේ පුංචි පපුවට බෑ කසුන් මේ වගේ දුකක් දරාගන්න...මම ඔයාව දන්නවා...ඒකයි මම හැමවෙලේම මේ දේ ඔයාගෙන් හැංගුවේ...."


මම සඳුනිගේ අත් දෙක මගේ අත්දෙකින් මිරිකලා අල්ලගත්තා.

"පිස්සු කතා කියන්න එපා සඳුනි!රිද්දන්න එපා මට මෙහෙම.ඔයාට මුකුත් වෙන්නේ නෑ!"

සඳුනි ඔළුව උස්සලා මගේ දිහා බැලුවා.මගේ ඇස්වලට එබිල බලපු ඒ ඇස්,ලොකු කතාවක් කියන්නයි සූදානම..


"ඒත් කසුන්...., ගිය සතියේ මගේ රිපෝට්ස් බලපු ඩොක්ට කිව්වේ....." ඒ ඇස් වලට ආයෙමත් කඳුළු පිරුණා...

"...ඩොක්ට කිව්වේ..ම...ම....මට වැ.. වැ..වැඩි කාලයක් නෑ කියලයි!" 

අමාරුවෙන් වචන එකතුකරන් සඳුනි කිව්ව දේ අහලා , මගේ හිත මොහොතකට නතරවුණා. 

"වැඩි කාලයක් නෑ!" මම ආයෙමත් ඒ වචන ටික මිමිණුවා..හිතේ තිබුණු දුක,මහා ලොකු බයකට පෙරලුනා.

"ඔව් ක..සුන්...මට වැ..වැ...වැඩි කාලයක් න්...න්...නෑලු..."

 සඳුනි මගේ උරහිසට ඔළුව තියාගෙන ඉකි ගගහා අඬන්න පටන් ගත්තා.මගේ ඇස් වලටත් කඳුළු පිරුණා.ඒත් මගේ හිත මට අඬන්න ඉඩ දුන්නේ නෑ.

"නැහැ සඳුනි..එහෙම වෙන්න බෑ...දැන් තාක්ෂණෙත් දියුණුයි,ඕනිම ලෙඩකට බෙහෙත් තියෙනවා" මගේ හිතේ ඇතිවුණේ බලාපොරොත්තුවක්.ඒත් මගේ වචන අහලා සඳුනි තවත් ඇඬුවා...

"නැහැ කසුන්.....ඇත්ත නවත්තන්න කාටවත් බෑ....කාටවත්ම බෑ...මාව හොඳ කරන්න බෑ කසුන්.මට තියෙන්නේ,මට ත්...ත්..ති..යෙන්නේ.....

මට ල්..ල්...ලියුකේමියාව කසුන්!"

සඳුනි හෙමිහිට කෙඳිරුවා.මොහොතකට මුළු ලෝකෙම නතරවුණා වගේ දැනුණා.හතර වටින්ම කළුවර වුනා වගේ....

"ලියුකේමියාව..." මට මිමිණුනා...

"ඔව් කසුන්..මට පොඩි කාලේ ඉඳන්ම ලේ පිළිකාවක්.." සඳුනි හිමිහිට ඔලුව උස්සලා මගේ දිහා බලාගෙන කිව්වා.

මට කියන්න දෙයක් තිබුණේ නෑ.හිත හිරිවැටිලා , දුක වැඩිකමට.මගේම සහෝදරියක් වගේ මගේම ලඟින් උන්නු සඳුනිත් මාව දාලා යන්නම යනවා!විස්වාස කරන්න බෑ මට!නැහැ...! මේක හීනයක්!මේක හීනයක්!!

"කොහොමද කසුන් මම ඒ බව දැන දැනත් ඔයාව මගේ කරගෙන ඔයාගේ ජීවිතේ විනාස කරන්නේ.

සමාවෙන්න කසුන් මට සමාවෙන්න..ඔයාගේ ජීවිතේට යාලුවෙක් විදියටවත් නෑවිත් ඉන්නයි මට තිබුණේ.මගෙන් වුණු වරදට සමාවෙන්න කසුන්!"

සඳුනිගේ උරහිස් දෙකෙන් තදකරල අල්ලගත්ත මම, 

"එපා ඔහොම කියන්න සඳුනි!

ඔයාගෙන් මට වරදක් වෙලා නෑ.ජීවිතේ තිබුණු තනිකම ඔයා නිසා නැතිවුණා.

ඒත් මම හිතුවා...මම හිතුවා...කවදහරි ඔයා මගේම වෙලා,හැමදාමත් මගේ ලහින් ඉඳියි කියලා සඳුනි..."

ඒ වචන ටික ඉවරවෙන්නත් කලින් මගේ කඳුළු ඉස්සර වුනා.හිතේ තිබුණු දුක,ඇස් වලින් දෝර ගැලුවා.සඳුනිව උරහිසට තියාගත්තු මම , මගේම මිතුරිය වෙනුවෙන් ඇඬුවා.

ඔව්,අපි ඇඬුවා.ඉර හඳ හේදෙන්න ඇඬුවා. මහමුහුදක් දෝරේ ගලන තරමට අපි ඇඬුවා.අපේ කඳුළු දැකලා මහ මුහුදත් හූමිටි තිබ්බා.හුම්මානේ වතුර මලත් , අපිත් එක්ක එකතුවෙලා,අපිටත් වඩා හයියෙන් ඇඬුවා.

-------------------------------------------------------------------------------------------------- 

කසුන් වෙත,

නිසල වූ නෙතු දෙස,
බලාන පතන්නට
සසර පුරාවට - මගේම වන්නට,
එනවා නේද සොහොයුර?

මේ මතකයත් රැගෙන,
කවදා හෝ දිනක,
මා මෙලොව හැරගිය මොහොතක....

කවි ගී ආයෙත් නොලිව්වාට,
ඔබ මගේම සොහොයුරකු වූ බව
කියනුයේ කෙලෙසද එදාට?

එනමුදු ;

ගොළු වූ කටහඬින් - අමතමින් ඔබේ හද,
ඔබ ලඟම දැවටෙන්නට,
එදාටත් අවසර - දෙනවා නේද සොහොයුර?

බැරිවුවත් මා හට,ලංවෙන්න ඔබ වෙත,
සත්තයි එදාටත් ඔබ ලඟම ඉන්නා බවට,
මතකයක් , සුවඳක් හෝ කඳුලක් වී,ඔබේ ඔය නෙතු තුල...

ඔයාගෙම,
සඳුනිගෙන්...

-------------------------------------------------------------------------------------------------- 

     එදා ඒ හමුවීම සඳුනිගෙත් , මගෙත් අන්තිම හමුවීම වුනා.ඒ සඳුනිගේම ඉල්ලීමක් නිසා.සඳුනිගේ ඉල්ලීම වුනේ එයාව අමතක ක‍රලා , එයාගෙන් ඈත්වෙලා ඉන්න කියලයි.මම ඒක කරන්න බැහැ කියද්දී සඳුනි කිව්වේ ;

"මැරෙන්න ඉන්න ලමයෙක්ගේ අවසාන ඉල්ලීම ඉටු කරන එක ලොකු පිනක් කසුන්" කියලා විතරයි.ඒ නිසා එයාගෙන් ඈත්වෙලා ඉන්න මට සිද්ධවුණා.අන්තිම මොහොතෙවත් එයාව බලන්න එන්න එපා කියල එයා මට කිව්වා.

මම එදා ගමන් ගිහින් ගෙදර ආවේ කොහොමද කියල මට මතක නෑ.එද ඉඳන් අද වෙනකන් ජීවත්වුණේ කොහොමද කියලා මතකයකුත් නෑ.හැබැයි මම තාමත් හුස්ම ගන්නවා.

*****

     සඳුනි මුළු ලෝකෙම අත්හැරලා යන්න ගියා.ඒක සිද්ධ නොවෙන්න තිබුණු දෙයක්.ඒත් ඒක එහෙම සිද්ධවෙලා අදට මාස හයක් වෙනවා.මාව මේ ලෝකේ තනිකරල එයා යන්නම ගියා කියලා තවමත් මට විස්වාස කරන්න බෑ.මොකද ඒ සුවඳ,ඒ මතකය,ඒ රූපය,ඒ ආදරේ,සෙනෙහස... තවමත් මං වටේ දැවටෙනවා.

     ඔව්!ඒ ලස්සන මතක කවදාවත් අමතක වෙන්නේ නෑ!ආත්ම ගාණක් පුරාවට ඒ මතකයන් මගේ ලඟ තියේවි.

    උසස්පෙළ ප්‍රතිඵලත් ගිය මාසේ පිටවුණා.කැම්පස් යන්න මටත් වරමක් ලැබිලා තිබුණා.ඒත් මගේ හිතට කිසිම සතුටක් නෑ.මගේ සතුට බෙදාගත්තු මගේම සහෝදරිය "සඳුනි" මගේ ලඟ නැතුව මම අද වෙන කාත් එක්ක සතුට බෙදාහදා ගන්නද!

     සඳුනිත් විභාගේ ඉහලින්ම පාස්වෙලා තිබුණා.ඒ ප්‍රතිඵලත් අරන් සඳුනිලෑ ගෙදර ගිය මොහොතේ , සඳුනිගේ පුංචි අම්මා අඬාපු හැටි මට තාමත් මතකයි.ඒ අසරණී සඳුනිගේ ජීවිතෙ බේරගන්න හැදුවත් බැරිවුනා.දුක වැඩි ඒ නිසා වෙන්න ඇති.දුක තුනීවෙන්න වචනයක් කියන්න ඕනි කියලා හිතුණත්,මගේ ගොළුවතට වචන ආවේ නෑ.

 *****

 
     ගාළු මුහුද අද හරිම නිශ්චලයි.වෙනදා නැති පාළු මූසල බවකින් මුළු ගාළු කොටුවම පිරිලා ඉතිරිලා ගිහින්.හරියට සඳුනි නැති පාළුව එයාලටත් දැනිලා වගේ.

     මායි සඳුනියි පැය ගනං ගාළු කොටුවට වෙලා කතා කරපු හැටි...අපේ හැම කඳුලක්ම,හැම සුසුමක්ම,හැම සතුටක්ම, අපි දෙන්නා සහෝදරත්වයෙන් බෙදා හදාගත්තු හැටි..... , මේ හැමදෙයක්ම මේ නිසල මුහුදට මතක ඇති.ගාලුකොටුව,ඒ හැමදෙයක්ම නිහඬව බලන් ඉන්න ඇති.

     මේ ලෝකේ සහෝදරයෙක්වත්,සහෝදරියක්වත් නැතිව තනිවෙලා උන්නු මටයි සඳුනිටයි,අපි දෙන්නාගේ මිත්‍රත්වය ඇතුලේ ඒ දේවල් හම්බුවුණා.අපි ජීවත්වුණේ ගොඩාක් සතුටින්,ජීවිතේ ගැන තෘප්තියෙන්!ඒත් අවාසනාවකට අද ඒ මිත්‍රත්වය මතකයක් විතරක් වෙලා.මං ආයෙමත් මගේ ලෝකේ තනිවුණා.මගේ තනියට මගේ ලඟ ඉතුරුවුණේ ලස්සන මිත්‍රත්වයක මතකයයි,ඒ මතකයන් නිසා මට උරුමවුණු සීතල කඳුලුයි විතරයි.

*****
   හැන්දෑ කළුවර ටිකෙන් ටික ගාලුකොටුව වටලනවා.තරු එකින් එක අහසේ තැනින් තැන මතු වෙනවා.දුක නිසා හිරිවැටුණු මගේ හිතට කාලය ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් ඇති නොවුණු එක පුදුමයක් නෙවෙයි.

    අහසේ තියෙන ලස්සනම ලස්සන , පුංචි තරුවක් මං දිහා බලං හිනාවෙනවා.සමහරවිට 'සඳුනි' ඈත අහසේ තරුවක් වෙලා මං දිහා බලං ඇති.


   ඔව්,ඒ එයාම තමයි!ඒ ලස්සන මූණ , ඒ අහිංසක හිනාව , ඒ කතාකරන ඇස්.....

   මමත් හිනාවුණා....මූණ පුරෝගෙන හිනාවුණා....මගේම මිතුරිය , මගේම සොහොයුරිය , මගේම ජීවිතේ එක්ක මම හිනාවුණා...

ඒ හිනාව බොඳවෙලා ගියා,සීතල කඳුළු වැස්සක් මගේ කම්මුල් තෙමාගෙන පහලට රූටනවා මට දැනුණා........

ඇත්තමයි ;  

ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්...

 *****
 හඬන්නට කඳුළු බිංදුවක් සොයමින්
ළතැවෙමි කඳුළු කතරේ
දකින්නට ආලෝකයක් පතමින්
සොයනෙමි අවිඳු අඳුරේ

ඔබේ රුව ආයෙත් දකින්නට
පතනෙමි හදින් සොඳුරේ
සොය සොයා මම තවම වැළපෙමි
"අහිමි සෙනෙහස" ජීවිතේ

*****

හදක් වැළපුනු ; හඳත් හැඬවුණු , අහිමි සෙනෙහස මෙසේ නිමාවට පත්වූ වගයි....

***** 

~ නිමි ~

ලිව්වේ : චාමර
වර්ෂය: 2007 

12 comments:

  1. මොනව කියන්නද බං ?
    උපරිමයි.

    ReplyDelete
  2. @Vinura Thivin (විනුර තිවින්)

    විනුර මල්ලියෝ! pdf එක දෙන වැඩේ ගැන මම බැලුවා,ඒක ආපහු ටයිප් කරන්න වෙනවා සම්පූර්ණයෙන්ම.ඒ නිසා ඒක දැන්ම කරන්න අමාරු වෙයි.මම බිසී නිසා.

    ReplyDelete
  3. HTML to PDF converter එකක් යොදාගෙන මේ URL එක convert කරලා , ඒක Word processing (eg : MS word) වගේ මෘදුකාංගයකින් PDF File එක import , edit කරලා දාන්න පුල්වන් නේද ?? ඉක්මනට හෝ

    HTML to PDF converter එකක් යොදාගෙන මේ URL එක converte කරලා, ඒ PDF එක word processing එකකට convert කරලා , edit කරලා , PDF එකක් විදිහට export කලා නම් හරිනේ .... ගින්නක් නැතුව ගේම ගොඩ .....

    ReplyDelete
  4. @හිඟන්නා

    ඒක ගැන මට වැටහීමක් නෑ.මම අපේ හසියාගෙන් ඇහුවම කිව්වේ යුනිකේත PDF කලාම අපැහැදිලියි කියලා.මේක කරගන්න පුලුවන් විදිය ගැන මට මේල් එකක් එවන්න බැරිද සහෝ?

    internetchamara@gmail.com

    ReplyDelete
  5. මගේ ඇහැටත් කඳුලු ආවා සහෝ.. මට නම් හිතා ගන්න බෑ..

    ReplyDelete
  6. මචන් ඔෆිස් වල කොපි කරලා " print " ගිහින් printer එක pdf creater select කරන්න... මම කලේ එහෙමයි. 5 මින්ස් යන්නේ.

    ReplyDelete
  7. මම නම් මගේ comment එක fb wall එකේ ලියල උඹෙන් හොඳවයින් අහගත්තනෙ...... කියන්න දෙයක් නැහැ මචෝ, නියම කතාව... මගේ සමහර යාළුවෝ මේකට දීපු comments ගැනත් මම කිව්වනෙ...... දිගටම ලියපං.... අපෙන් සුභ පැතුම්...!!!!

    ReplyDelete
  8. දුකි .සංවේදී කතාවක්
    මටත් ඔය වගේම යාලුවෙක් ඉන්නවා
    මගේ horescope 1 තියෙන්නේ ,මම 30 මැරෙනවා කියල..
    මට හිතෙන්නේ දැන්ම එයාගෙන් ඇත් වෙලා හිටියනම් හොදය කියල

    ReplyDelete
  9. @tikz Buddhika Sampath හඳහන් වලට ජීවිතේ තීරණය කරන්න දෙන්න එපා...තමන්ගේ හිතට එකඟව , සතුටින් මැරෙන්න පුළුවන් තීරණයක් ගන්න... ජීවත් වෙන කාලේදී සතුටින් ජීවත් වෙන්න ඕනි...

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය