Monday, November 24, 2014

සතුටින් ඉන්න

ලංවන්නට දහසකුත් හේතු තිබියදී , 

දුරස් වන්නට හේතු සොයනා ,

ඔබට , 

තවත් හේතු අනවශ්‍යයි...


"ඇයි" කියලද ඇහුවේ??

ඔබේ වෙහෙස දැකලා,

මටම දුක හිතිලා,

ඔබෙ සතුට වෙනුවෙන්,

මම ඔබව ඈත්කළා....


දැන් සතුටින් ඉන්න....

Friday, February 7, 2014

නිමක් නැති කතාවක්... පිටු අංක 07

~~ නිමක් නැති කතාවක්... පිටු අංක 07 ~~

නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < - 
නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න < - 
නිමක් නැති කතාවක් - > පිටු අංක 5 මෙතනින් කියවන්න < -  
 නිමක් නැති කතාවක් - > පිටු අංක 6 මෙතනින් කියවන්න < -  



ඉන්ටවල් ඉවර වෙලා පන්තියේ ළමයි හැමෝම පන්තියට දුවගෙන ආවා.නෙතූ අවේ ශෂිකත් එක්ක.මම සාරදී එක්ක ලොකු වැඩක් කරනවා වගේ බොරුවට ඉන්න ගමන් හොරෙන් නෙතූ දිහා බැලුවා.පන්තියට ඇවිත් එයා මගේ ළඟ තිබුණු පුටුව ගාවට ආවේ එය හැමදාම හිටියේ එතන නිසා.එතකොටයි එයා දැක්කේ එයාගේ තැන , සාරදී වාඩි වෙලා ඉන්නවා.ඒ පුංචි මුණ වෙනස් වුනා.සතුට වෙනුවට මුණ පුරාවටම ලොකු දුකක් පැතිරුනා.ඒ පුංචි ඇස්  වලට කඳුළු පිරුනා.

"
ෂමිරු??"

මම හිටියේ එයත් එක්ක කේන්තියෙන්..මම ඔලුව උස්සලා බැලුවේවත් නැහැ..

නෙතු ටික වෙලාවක් මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා මට දැනුනා..මම ගණන් ගත්තේ නැහැ..ටික වෙලාවක් හිටපු නෙතු , හෙමිහිට ගිහින් ශෂික ළඟ තිබිච්ච පුටුවේ වාඩි වුනා.

එදා දවසම මම එයා දිහා බැලුවේ වත් නැහැ! එය මට රිද්දුවනේ , රිද්දනවා එයාටත් මම.. සාරදිත් එක්ක හොඳට කතා කර කර , නෙතුට රිද්දන්න පුළුවන් හැමදේම කළා මම.. සතුටුයි මට,ගොඩාක්!

ඉස්කෝලේ ඉවර වෙලා හැමදාම පන්තියෙන් එලියට පැනලා පන කඩාගෙන දුවන්නේ මමයි නෙතුයි.එදා මට දුවන්න හිතුනේ නැහැ.මම හිමිහිට ඇවිදගෙන ගියේ හිතේ දුකක් තිබුණු නිසාද කොහෙද. ටික දුරක් යද්දී මට දැනුනා කවුරුහරි මගේ ලඟින්ම පස්සෙන් එනවා කියලා.මම හැරිලා බැලුවා.

"
නෙතු!"

ඔව් එයා තමයි..එයත් බිම බලාගෙන හිමිහිට හිමිහිට ඇවිදිනවා..මට ගොඩාක් දුක හිතුනා.ඒත් එයාට දෙවෙනි වෙන්න මට බැහැ!මම නොදැක්ක ගානට ඇවිදගෙන ගිහින් අම්මා ඉන්න ස්ටාෆ් රුම් එකට ගියා.

ඒත් මගේ හිත නෙතු ළඟ...

"
මම නෙවෙයිනේ වැරදි! එය තමයි වැරදි!" මම හිත හදාගන්න හැදුවා...

*********

"හෙලෝ!"

"කොහොමද? මොකද කරන්නේ මේ දවස්වල?"

නෙතු මට කෝල් කරද්දී , මම ඇඟිල්ලක් කඩාගෙන හිටියේ ක්‍රිකට් ගහලා..

"ඇඟිල්ලක් ඩවුන්! දකුණු අතින් වැඩ බැහැ!"

"අපොයි! ඒ මොනවා කරන්න ගිහින්ද ශමිරු?"

"ක්‍රිකට් ගහන්න ගිහින් බොලේ වැදුනා අතේ!"




"අනේ ළමයෝ! පරිස්සම් වෙන්න එපයි! මට ඔයාව හම්බෙන්න ඕනි! හෙට උදේට බැරිද? අත සනීප වෙන්න බේතකුත් අරගෙනම එන්නම්..."

ඇඟිල්ලක් උලුක් වෙලා හිටපු නිසා ටිකක් අමාරුවෙන් තමයි හිටියේ,ඒත් නෙතු ව හම්බවෙන්න තිබුන ආසාව ඊට වඩා වැඩියි... ඒ නිසාම පහුවදා උදෙන්ම අපි දෙන්නා මුණ ගැහුනා..

"මම හිතුව බොරුවට කියලා..."

"මොකක්ද බොරුව?"

"ඇඟිල්ලේ කතාව.."

"කෙහෙල්මල! මට මේ ඉන්න බැරුව හිටියේ!"

නෙතු දිව දික් කරලා ඔච්චම් කලේ පොඩි එකෙක් වගේ..

"කොහෙද යන්නේ දැන්?"

"නුගේගොඩ තියෙනවා හොඳ කඩයක්...කෑම රසා...යි!"

"එහෙනං යමු ඉතින්!"

කෑම කිව්වොත් ඉතින් දෙන්නටම වෙන මුකුත් ඕනි නැහැ! මම වගේම නෙතුත් කෑමට තිබ්බේ හරිම පෙරේත කමක්! ඒ ගති නම් තාමත් වෙනස් වෙලා නැහැ පිස්සිගේ!

නෙතු කියපු කෑම කඩේට අපි දෙන්නා ගොඩ වෙලා , නිදහසේ ඉන්න පුළුවන් තැනක් බලලා වාඩිවුනා.. ඇත්තටම නිදහස් තැනක්.. දෙන්නගෙම කැමැත්ත බුරියානි වලට... වැඩිවෙලාවක් නොගිහින්ම ලොකු බුරියානි එකක් අපි ඉස්සරහා.. කෑදරකම තිබුනට මට එවලේ තමයි මතක් වුනේ ඇඟිල්ල නිසා මට කන්න බැහැනේ කියලා..

"හරි ළමයෝ! ඕක කලපනා කරන්න දෙයක් නෙවෙයිනේ! මම කවන්නම්..."

හිතේ තිබ්බ දේ මගේ මුනෙන් දැකපු නෙතු එහෙම කිව්වම මට හිනා...

"එහෙනං කවන්නකෝ බලන්න.. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඔය අතින් කවද්දී.."

"නරකට තියෙයි!"

මම නෙතු ලඟින්ම තිබුණු පුටුවේ වාඩිවුනා...බත් කටින් කට රසට අනලා ඒ චූටි ඇඟිලි තුඩුවලින් පොඩි එකෙක්ට කවනවා වගේ නෙතු මට කැව්වා... 

"රසයි..."

"ඒකනේ කිව්වේ!"

"ඔයා කවන නිසා නෙවෙයි! බත් එක හොඳයි ඒකයි.."

"ඉතින් මම කිව්වෙත් ඒකම තමයි මැට්ටෝ!"

මම බයිට්ද මන්දා...

"මොනවද නෙතු මේ දවස්වල කරන්නේ?"

"මේ දවස්වල පොඩ්ඩක් අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක් එකතු කරගෙන ගමින් ගම වැඩසටහන් ටිකක් කරන්නයි හදන්නේ ශමිරු..."

"මොනවා ගැනද?"

"ජීවිතේ ගැන... මිනිස්සු ගැන... ආදරේ ගැන... නිදහස ගැන..."

"ඒ කියන්නේ , සරලව කිව්වොත් දේශපාලනේ ගැනද??"

ඒ ප්‍රශ්නෙට නෙතුට හිනා...

"ජීවිතේ කියන්නෙත් එක්තරා විදියකට දේශපාලනයක් තමයි ශමිරු...අපි හැමෝම තම තමන්ගේ ඇස් වලින් ලෝකේ දිහා බලාගෙන,තමන්ගේම දේශපාලනයක් තමයි කරන්නේ ශමිරු..."

"විහිළුවක්! මිනිස්සු එදා වේල කාලා බීලා ඉන්න නැතුව දුක් විඳිනවා... වැඩසටහන් කරන පලියට ඒ මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැහැ නෙතු..."

"අපි හැමදාමත් බඩ ගැන හිතන නිසා තමයි අපි හැමෝම අද මේ විදියට දුක් විඳින්නේ!"

"ඇත්ත වෙන්න පුළුවන් නෙතු... ඒත් ප්‍රයෝගිකත්වය තියෙන්නේ ඇඟට දැනෙන බඩගින්නේ මිසක්,ඇහැට නොපෙනන මිනිස්කමේවත් ආදරෙවත් නෙවෙයි නෙතු!"

"ඔය හැම එකක්ම ධනවාදී අදහස් ශමිරු..."

"මම දන්නා වාදයක් නැහැ! මම කිව්වේ ඇත්ත! ඇඟට දැනෙන,ඇහැට පේන ඇත්ත!"

නෙතු ඇස දෙක පොඩි කරගෙන මගේ දිහා බලන් හිටියේ ඔලොක්කුවට වගේ...

"ඔයා එන්න... අපි එකතුවෙන දවසක...ඇවිත් කතා බහ කරලම ඉගෙනගන්න ශමිරු..."

"අනිවාර්යෙන්ම එන්නම්... මටත් ආසයි ඔයාල මේ මොරගාන වෙනස ගැන දැනගන්න..."

කතාවෙන් කතාවෙන් බත් එකත් කාලා ඉවරයි...

*********

පහුවදා උදේම මම පන්තියට ආවා.. ඇවිත් මගේ බෑග් එක තිබ්බේ සාරදිගේ පුටුව ළඟ තිබබ පුටුවෙන්... තියලා පිටි පස්ස හැරෙන්න හම්බුනේ නැහැ,නෙතු එතන..

"ගුඩ් මෝනින්!"

මම අහක බලාගත්තා...

"අනේ ශමිරු! ඇයි මාත් එක්ක තරහ වෙලා.."

නෙතුගේ සිනිඳු අතින් මගේ ඇත අල්ලාගෙන නෙතු කියනවා... මම එයාගේ මුන දිහා බැලුවා... එයා අඬන්න ඔන්න මෙන්න... මම ගණන් ගන්න හොඳ නැහැ.. අත ගසා දාල මම අනිත් පැත්ත හැරුනා... 

"ශමිරු...."

නෙතු කතා කරන්න හැදුවත් , එයාගේ කතාව නතරවුණේ අඬන්න පටන් අරගත්තු නිසා... මට එයා ඉකිගහන සද්දේ ඇහෙනවා...

පව්!!!

මම හැරුනා... නෙතු හොඳටම අඬනවා... පුංචි ඇස් රතු කරගෙන , ඇඟිලි පොඩි වලින් මිරිකා මිරිකා , එයා හොඳටෝම අඬනවා...




මොනා වුනත් නෙතු අඬද්දී නම් මට බලන් ඉන්න බැහැ...

"අඬන්න  එපා නෙතු.."

ඒක කිව්ව ගමන් මෙන්න වැඩිපුර අඬන්න පටන් ගත්තා...

"අනේ නෙතු... අඬන්න එපා නෙතු..."

"හ්හි.. ඉහි.. ඔයා මාත්...මාත් එක්ක..ඉහි ඉහිඊ..තරහා වෙන්න...ඉහි ඉහි...දෙයක් කලේ නැහැනේ...මම..."

අඬ අඬා කෙල්ල කියනවා...

මට ගොඩාක් දුක හිතුනා... 

"සොරී! ඔයා ශෂිකත් එක්ක ඉන්නකොට මට තරහ ගියා නෙතු... සොරී... දැන් අඬන් නැතුව ඉන්නකෝ!!! මම ආයිමත් නපුරු වෙන්නේ නැහැ... සොරී..."

නෙතු අඬන එක පොඩ්ඩක් අඩු කරලා... හිමීට මගේ දිහා බලලා, අත දික් කළා..

"ප්‍රොමිස් වෙන්න මට.. ආයෙමත් එහෙම නපුරු වෙන්නේ නැහැ කියලා..."

හිතන්නත් දෙයක්ද,

"ප්‍රොමිස්!"

එයා හිනා වුනා...මටත් හිනා ගියා... මම බෑග් එකත් අරන් නෙතු ගාව පුටුවට ගියා... සාරදී හැමදාමත් වගේ අපි දෙන්නට ඔරවාගෙන ගියා.. එයාට නෙතු එක්ක තරහ ඇති එයා ළඟ තිබ්බ පුටුවෙන් මාව අයින් කල එකට...

නෙතුයි මායි ආයෙමත් යාලු වුනා... ශෂික වැඩිපුර අපි එක්ක කතා කලේ නැහැ... අපිට මොකෝ!! 

*********

"කෑම එකනම් මරු නේ?"

"හ්ම්ම්..."

නෙතුගේ අදහස මම අනුමත කළා...

"අයිස්ක්‍රීම් කමුද දැවිල්ල යන්නත් එක්ක?" මගෙන් යෝජනාවක්...

"කමු!" නෙතු නොකයි අයිස්ක්‍රීම්! පෙරේති!

අයිස්ක්‍රීම් කැව්වෙත් නෙතු ම තමයි... ඒ අතරේ,

"කෝ ඇඟිල්ල දෙන්න බලන්න..."

"රිද්දන්න එපා!! අම්බානක රිදෙනවා හෙලවුනත්!"

"හරි හරි ළමයෝ!!"

කියලා මගේ දකුණු අත අරගෙන මහපොට ඇඟිල්ල හරවා හරවා දිහා නෙතු බලන් හිටියේ පොඩි එකෙක් වගේ..

"බැරි වැඩ නොකර ඉන්න එපයි! ක්‍රිකට් ගහන්න ගියේ!"

"කිව්වා කියලා හිතාගන්නකෝ! , ඒක නෙවෙයි , දැන් කෝ ඊයේ රෑ කිව්ව බෙහෙත්? ගෙනාවද?"

නෙතු ගේ දඟ ඇස් හිනා වුනා... හිමිට මගේ ඇඟිල්ල ලඟට එයාගේ තොල් දෙක ගෙනාපු නෙතු , හිමිට මගේ ඇඟිල්ලට කිස් එකක් දුන්නා...

සීතලයි...

"බේත හොඳයිද?"

"හොඳයි... මගේ මුනත් උලුක් වෙලා වගේ.. බැරිද බේතාක් දෙන්න එහෙටත්?"

මගෙන් විහිළුවක්... 

"එව්වට නං බේත් නැහැ පුතෝ! ගිහින් මුන උලාගත්තනම් හරි කළු ගලක වගේ! එතකොට හරියයි!"

නෙතුගේ කටටත් කොහෙන් වචන එනවද මන්දා...

"පරිස්සම් වෙන්න ශමිරු.. අත පය කඩාගන්න එපා.. තේරෙනවනේද තියෙන අමාරුව.."

ඒ ආදරේ මගේ නෙවෙයි! ඒ තරම් ආදරෙන් මාව බලාගන්න කවුරුවත්ම නැහැ! මට මතක් වුනේ එතකොටයි...

"ඇයි ශමිරු මුණ එල්ලගත්තේ?"

වචනෙන් කියාගන්න බැරිවුණු දේ,මගේ මුනෙන් කියවෙන්න ඇති..

ලොකු සුසුමක් හෙලු නෙතු , නොපෙනන ඈතක් දිහා බලාගත්තා...

"පරක්කු වැඩියි! උඹ පරක්කු වැඩියි!"

මගේ හිතම මට කෑ ගහනවා...

"මෙන්න බිල මහත්තයා.."

වේටර්ගේ කටහඬින් මගේ දැහැන බිඳුනා...

"අද වියදම මගේ ගානේ!"

නෙතු මට මුකුත් කියන්න ඉඩක් නොතියාම සල්ලි කොලයක් අරන් තියලා ඉවරයි...

"යමු ද?"

"බෑ!!! තව ටිකක් ඉමු!!!" කියලා හිත කිව්වට, කට කිව්වේ

"යමු!" කියලා...


*********



ගොඩාක් දුක හිතුනා..
ශෂිකත් එක්ක ඔයා ඉද්දි...
මාව අමතක කරලා එයත් එක්ක 
සෙල්ලම් කරද්දී..
මට පාලු හිතුනා... 
ඒකයි නපුරු වුනේ..
නැහැ කවදාවත් තරහ වුනේ..
කොහොම තරහා වෙන්නද මම..
ඔයා අඬද්දී බලන් ඉන්න බැහැ මට..
අඬන්න එපා ඒ හින්දා...
මට ගොඩක් දුක හිතෙයි..
හැමදාම,
ඔයා මගේ...
මගේ විතරමයි...




*********

--
මතු සම්බන්ධයි --



Saturday, January 11, 2014

ජීවිතේ ඇත්ත...



          උතුම් වූ සමාජ සත්කාරයන් වෙනුවෙන් සැම විටම පෙනී සිටින IMCD හෙවත් සමාජයීය සංවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර එකමුතුව පසු ගිය දිනක (2013 දෙසැම්බර් 28 සෙනසුරාදා) තවත් අපූරු වැඩකට සම්බන්ධ වුනා.සමාජයේ කාටත් අමතක වෙලා , තමන්ගේ ලෝකෙක පාලුවෙන් තනි වෙලා ඉන්න අපේම ආදරණීය සහෝදර සහෝදරියන් සහ වැඩිහිටියන් පිරිසක් සොයාගෙන ගිහින් , ඔවුන් එක්ක එකතු වෙලා නත්තල් අසිරිය බෙදා හදා ගනිමින් ඔවුන් සමඟ විනොදවෙමින් සම්පුර්ණ දිනයක් පුරාවට ඔවුන්ගේ දුක සැප බෙදා හදාගනිමින් සහ ඔවුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය ලබාදෙමින් අපට හැකි පමණින් ඔවුන්ට උදව්වක් උපකාරයක් කිරීම තමයි ඒ අපුරු වූ සත්කාරක වැඩසටහනේ අරමුණ වුනේ..

 මේ සුවිශේෂී වැඩසටහනත් එක්ක සම්බන්ධවෙන්න, IMCD සංවිධානයේ මිතුරු මිතුරියන් එක්ක කළුතර,කටුකුරුන්ද මාක් ශ්‍රී ළමා/වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත වුවන්ගේ නිවසට ගොඩ වෙන්නට ,මටත් අවස්ථාවක් ලැබුනා.දිනයක් පුරාවට පැවැත්වුණු වැඩසටහන ;  එම ස්ථානය සහ අවට පරිසරය පිරිසිදු කිරීම , එම ස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය හා එක්ව, එහි නේවාසික සාමාජික, සාමාජිකාවන්ට අවශ්‍ය දිවා අහාරය සුදානම් කිරීම සහ ඒවා ඔවුන්ට පිළිගැන්වීම , ඔවුන්ට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ රාශියක් ප්‍රදානය කිරීම සහ නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වා ඔවුන් සමඟ එක්ව ගී ගයමින් සහ නටමින් විනෝදවීම යන අංග රැසකින් පරිපුර්ණ වෙලා තිබුනා.

මේ හැමදේම ඉවර වෙලා රෝද පුටුවලින් ගමන් ගත්තු කිහිප දෙනෙක්ව ඔවුන්ගේ අදාළ නිවස්න වෙත රැගෙන ගිය වෙලාවේදී අහම්බෙන් වගේ මට කතා බහ කරන්නට ලැබුනා අපුරු පුද්ගලයෙකු එක්ක...

ඔහු නමින් නිහාල්.

රෝද පුටුව අදාළ ස්ථානයෙන් නැවැත්තුවාට පස්සේ , මේ නිහාල් කියන පුදගලයා අපුරු ඉල්ලීමක් කළා.."මල්ලි , විනාඩියක් ඉන්න පුලුවන්ද?" , ඒ වෙලාව වෙද්දී අපි හැමෝම ආපහු ගෙවල් වලට යන හදිසියේ හිටියත් , ඔහුගේ ඉල්ලීම අහක දාන්නට මට පුළුවන් වුනේ නැහැ..

ලැබුණු අවසරයෙන් නිහාල් අයියා,කොහේදෝතිබුණු කොපි පොත් දෙකක් අරගත්තා.. 

"මේ පොත් දෙක පුරාවටම තියෙන්නේ මම ලියපු කවි , සින්දු මල්ලී..."

 හිතේ තිබුණු කලබලය පැත්තකින් තියලා මමත් ඒ පොත් දෙක පුරාවට ලියවිලා තිබුණු දේවල් දිහාවට ඇස් යොමු කලේ මේ වගේ තැනකදී මේ වගේ අත්දැකීමක් ලැබෙයි කියලා හීනෙකින්වත් නොහිතපු නිසා සහ මගේ හිතේ තිබුණු කුතුහලය නිසා... ලියල තිබුණු කිසිම දෙයක් නිකරුනේ ලියවුනු දේවල් නෙවෙයි , අර්ථවත් වචන පේලියෙන් පේලිය ගලපලා , අපුරු රටාවකට ලියන්නට මේ අපුරු මිනිසාට හැකියාවක් තියෙන බව මට මොහොතකින් වැටහුනා.. 

 ඒත් බහුතර නිසඳැස් , කවි , සින්දු ගෙත්තම් වෙලා තිබුනේ හිතේ තියෙන මහා දුකක් නිවාගන්නට බැරිව දුක් විඳින අහිංසකයෙකුගේ අදහස් ,සිතිවලි වලින් කියලා මට දැනුනා..

"අයියේ , මේ ලියලා තියෙන දේවල් අයියගේ ජීවිතේට සම්බන්ධ දේවල් ද ?" මම නිකමට වගේ ඇහුවා...


 නිහාල් අයියාගේ ඇස් බිමට හැරුනා... මම ඇහුවේ ,අහන්නට සුදුසු නැති ප්‍රශ්නයක්දෝ කියලා මගේ හිත මට දොස් කිව්වා...

"සොරි අයියේ , මම හිත රිද්දන්න අදහස් කලේ නැහැ...ඒත්...." මගේ වාක්‍ය ඉවර කරගන්නට කලින්ම නිහාල් අයියා කතා කළා... 

"නැහැ .. මල්ලිගෙන් වරදක් වුනේ නැහැ.. මට මගේ පොඩි කොලු පැටියව මතක් වුනා ..."

"ඒ කියන්නේ අයියා බැඳලද?"

 ඒ මූනට ආවේ දුක පිරුණු මදහසක්..


"මම බැඳලා , ළමයි තුන් දෙනෙක් ඉන්නවා ... කොල්ලයි , කෙල්ලෝ දෙන්නයි..."

"ඉතින් මොකද අයියට වුනේ?" මට ලොකු ප්‍රශ්නයක්..

"මම කලේ මේසන් වැඩ ... මීට අවුරුදු ගානකට කලින් උඩ තට්ටුවක වැඩක් කර කර ඉද්දි මාව ලිස්සලා බිමට වැටිලා මගේ ඉනෙන් පහල පණ නැතිවුනා ..."

"එතකොට දැන්, අයියගේ ළමයි?"

"ඉන්නවා .. මගේ වයිෆ් එක්ක.."


"එයාල අයියව බලන්න එන්නේ නැද්ද?"

දිග හුස්මක් ගත්තු නිහාල් අයියා මෙහෙම කිව්වේ බොහොම දුකකින්...

"මම වැටිලා අසරණ වුනු වෙලාවේ , මගේ වයිෆ් මාව දාල ගියා ... එයා වෙන කෙනෙක්ව බැඳලා ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්නවා ...මාව බලෙන්ම අමතක කරලා දාලා දැන්... මගේ ළමයි ටිකවත් බලන්න මට ඉඩක් නැහැ මල්ලි... "

කතාව මොහොතකට නතර වුනා... නිහාල් අයියා මොහොතකට නිහඬවුනා... 


"මට එයාලව ගොඩක් මතක් වෙනවා... ඒත් කරන්න දෙයක් නැහැ... හිතේ තියෙන දුක කියන්න කෙනෙකුත් නැහැ ... මුළු ලෝකෙම දිනාගන්න හීන දැකපු මට අන්තිමට මගේ ජීවිතේම නැති වුනා මල්ලි.."

 මොනවා කියන්නද මොනවා හිතන්නද කියලා මට තේරුනේ නැහැ...මොහොතකට මගේ හිතත් හිරි වැටුනා වගේ දැනුනා...

"ජීවිතේ ඔහොම තමයි අයියේ... අපි කවුරු වුනත් කොයි වේලාවේද දන්නේ නැහැනේ ..." ඔහුගේ හිත හැදෙන්න යමක් කියන්න ඕනි කියලා මට දැනුනු නිසා එහෙම කිව්වා...

"ඒක ඇත්ත... මට දැන් තියෙන්නේ එකම ආසවයි... මට ආසයි මම ලියන දෙයක් සින්දුවක් වෙලා එලි දකිනව නම්,එච්චරයි මට ඕනි මල්ලි.... "

එවලේ ලොකු උදව්වක් කරන්න ඔහුට පොරොන්දුවක් දෙන්න බැරි වුනත්,

"අයියා කැමතිම වචන ටික තියෙන සින්දු දෙක තුනක් මට තෝරලා දෙන්න .. මම බලන්නම් පුළුවන් දෙයක් කරන්න... " කියලා කිව්වේ මගේ මිතුරෝ කිහිප දෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලා දෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්...


නිහාල් අයියා එයාගේ පොතේ පිටු පෙරලගෙන ගිහින් එක තැනක නතරවුනා...,

"ජීවත් වන මා මැරුණු අයෙක් කලේ ඇයි මගේ පුතනුවනේ..
එහෙම කරන්නට නුඹේ ඔය හදවත ඉඩ දුන්නද පුතුනේ..."

ඔහුගේ වේදනාව ඒ හැම වචනයක් වචනයක් පාසාම සිත්තම් වෙලා තිබුනා...



තවත් වදන් පෙළක් ඔහු මට පෙන්නුවා,


"දෑඟිලි රන් හුන් 
බැඳුනද පැතු ලෙසින්

ඔබ මා වෙන් වුනේ
එක සිත් නැති පවින්..."

අවුරුදු ගානක් පෙරුම් පුරලා , තමන්ගේම කරගත්තු ඒ ආදරේ, අද වෙනකොට නිහාල් අයියට අහිමි වෙලා...තමන්ගේ පවුල නඩත්තු කරන්න මුදල් හොයන්න ගිහින් , තමන්ගේ මුළු ජීවිතේම ඔහුගේ ඇස් ඉස්සරහම නැති වෙලා... ජීවිතේ ගැන මවපු හීන මාලිගා හැමදෙයක්ම සුනු විසුනු වෙලා,තමන් ආදරේ කරපු හැමදෙයක්ම ඔහුට අහිමි වෙලා.... අද , නිහාල් අයියා තනියම , රෝද පුටුවක් උඩට වෙලා දුක් විඳිනවා...



නිහාල් අයියට සමුදීලා මම ආවේ හිතේ ලොකු බරක් දරාගෙන...ඒ නිහාල් අයියා අන්තිමට කියපු වචන ටිකක් නිසා... 

"අපි කාට වුනත් ඔච්චරයි ... ආදරේ,ජීවිතේ,සතුට මේ හැමදෙයක්ම තාවකාලිකයි... පන දෙන්නම් කියලා ඉන්න ගොඩ දෙනෙක්,අපිට කරදරයක් වුනාම , අපෙන් ඈත් වෙන්නේ අපිට හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට ..."

ඒ වචන පේලිය කිසිම දවසක මට අමතක වෙන එකක් නැහැ... 


"ජීවිතේ අනිත්‍යයි... ඉතින් ආදරේ ගැන කවර කතා ද?"

ප.ලි. : නිහාල් අයියාගේ අතින්ම ලියවුනු සින්දු දෙකක මම ගත්තු පින්තූර දෙකක් තමයි මේ ලිපිය තුල දාලා තියෙන්නේ... 

මගේ එකම ඉල්ලීම ,නිහාල් අයියගේ එකම හීනේ වෙන ,මේ වචන සැබෑ ගීතයක් බවට පත් කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න...මම ඔහුව සම්බන්ධ කරගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම්...


Monday, September 30, 2013

අවසරද මට...



පින්බර සිතැඟි දල්වා නුඹේ නෙතඹරට
පෙම්බර නුඹේ පහසින් සිත දොවන්නට
සුන්දර විජිතයක දොරගුළු හරින්නට
කුමරිය අවසරද නුඹ හා රැඳෙන්නට...

ගින්දර නැගෙන මොහොතක හද විමන් අරා
සිහිලැල් ගඟුල වෙමි නුඹේ ගත සිතැඟි පුරා
සිනහව කඳුල එක සේ නීති මහද දරා
සනසමි නුඹව සැමදා මම මියෙන තුරා...

Wednesday, April 17, 2013

දෙව්ලොවෙන් ආ සොඳුරු රුවැතිය..


දෙව්ලොවෙන් ආ සොඳුරු රුවැතිය..



හිරුත් බැසගොස්
අඳුරු වූ හිස්
අහස් තලයම
එලි කරන්නට
දෙව් ලොවෙන් ආ
රුවැති කුමරිය
මගේ ලඟයි
අද මටත් නොදැනිම...

දෙව් ලොවේ 
සහසකුත් සැප විඳ
කඳුළු නොම දැක
එකදු දිනයෙක
පුරුදු දිවි හැර
මෙලොව විසුමට
සිත්වුනේ ඇයි
නොදනිති ඇය...

ඇගේ මව් පිය
සොයුරු පරපුර
ඇය සොයා විත්
රැගෙන යනු ඇත
එවිට ආයෙම
ලොවම කළුවර
වේවි මාගේ
පෙරම වාගේ...

එතෙක් ඒ ගැන
නොසිත තුටුවී
හිඳිමු ආලෙන් 
වෙලී එක්වී
කුරිරු ලෝකය
සිතින් පහකොට
මොහොතකට අප
ලොවේ තනිවී...