Wednesday, July 18, 2012

නිමක් නැති කතාවක් - පිටු අංක 06

~~ නිමක් නැති කතාවක් - පිටු අංක 06 ~~


නිමක් නැති කතාවක් - > පිටු අංක 1 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 2 මෙතනින් කියවන්න < -
නිමක් නැති කතාවක් - > පිටු අංක 3 මෙතනින් කියවන්න < - 

නිමක් නැති කතාවක් - > පිටු අංක 4 මෙතනින් කියවන්න < - 
නිමක් නැති කතාවක් - > පිටු අංක 5 මෙතනින් කියවන්න < - 








දවසෙන් දවස ශෂික පංතියේ ජනප්‍රිය චරිතයක් වුණා.වැඩට වගේම කතාවටත් හරිම දක්ෂයෙක් තමයි මිනිහා.පංතියේ ප්‍රභල චරිතයක් වෙලා හිටපු මම , ටිකෙන් ටික කට්ටියට අමතක වෙලා යන්න පටන් ගත්තා.

"අද හොඳම රචනාව ලියල තියෙන්නේ ශෂික...කියවන්න ශෂික පන්තියටම ඇහෙන්න රචනාව..."



මැඩම්ගේ වර්ණනාවත් දැන් ශෂික දිහාවට හැරිලා..ඉස්සර හැමදාමත් පංතියේ හොඳම , දක්ෂම ළමයා වුනේ මම..ඒ දේවල් ටිකෙන් ටික මගෙන් ඈත්වෙන්න පටන් අරං..හැබැයි ඒ කිසිම දෙයක් මගේ හිතට එච්චරටම දැනුනේ නැහැ...හිතට දැනෙන සිද්ධිය වුනේ , නෙතූ ට මට වඩා ශෂිකව ලොකු වෙන්න පටන් ගත්තු එක.


"එන්නකෝ ෂමිරු ලිස්සන බෝට්ටුවේ යන්න...." නෙතුගෙන් ඇවටිල්ල.

"අනේ බැහැ නෙතූ... අපි හොරා පොලිස් කරමුකෝ වෙනදා වගේ..."

"අනේ දැන් ළමයි කැමති නැහැනේ ඒ සෙල්ලමට...අනික ගොඩක් අය දැන් ශෂිකත් එක්ක කොටි-හමුදා සෙල්ලම කරනවනේ... ඉතිං හොර පොලිස් කරන්න කට්ටිය මදිනේ..."

මට ඒ කතාවට හොඳටම කේන්ති ගියා...

"ඉතිං ඔයත් ගිහින් ශෂිකත් එක්ක සෙල්ලං කරන්නකෝ!!!මට කරදර කරන්නේ!!!"



ඒ පුංචි ඇස් පුදුමෙන් ලොකූවුණා..

"ඇයි ෂමිරු මට බනින්නේ?? මම වරදක් කලේ නෑනේ.."

එතකොටම කොහෙද ඉඳං ශෂික කඩාගෙන පාත්වුණා අපි හිටපු තැනට..

 "නෙතූ... මොකද මෙතනට වෙලා කරන්නේ?? යමුකෝ සෙල්ලං කරන්න... අපි යුද්ධ කරලා ඉවරයි... ලිස්සන බෝට්ටුවේ යමුද?"

නෙතූ මගේ දිහා බැලුවා... ඒ ඇස් දුකෙන් පිරිලා...

"යමු ශෂික..."

නෙතූගේ උත්තරෙන් මාව ගැස්සිලා ගියා... මට එය දිහා ඉබේටම බැලුනා..එය අහක බලාගත්තා...

"ෂමිරුත් එනවද?" ශෂික මගෙන් අහනවා..

"ආහ් නැහැ නැහැ... අද මගේ ඔලුව කැක්කුමයි වගේ... ඔයාල සෙල්ලං කරන්න.."

මම බොරුවක් කියලා හොරෙන් නෙතූ දිහා ආයෙමත් බැලුව..එයා මගේ දිහා බැලුවේවත් නැහැ..ශෂිකගේ අතිනුත් අල්ලගෙන දුවගෙන ගියා පිට්ටනිය දිහාට...



මට දුක හිතුනා.. මම කේන්ති ගත්තේ අපරාදේ.. නෙතූ වරදක් කලේ නැහැනේ.. මම හොරෙන්ම ලිස්සන බෝට්ටුව තියෙන දිහාවට ගියා.. ශෂිකත් එක්ක නෙත්මි ලිස්සන බෝට්ටුවේ යනවා.. ආයෙමත් දෙන්නම පඩිපෙලෙන් දුවගෙන උඩට ඇවිත් , ආයෙමත් ලිස්සගෙන පහලට යනවා.. මම දන්නේ නැහැ ඇයි කියලා..ඒත් මට ගොඩාක් දුක හිතුණා... ශෂික ගැන ඉරිසියා හිතුණා.. මගේ හොඳම යාළුවා , නෙතූ දැන් එයාගේ වෙලා කියලා මට හිතුණා...




මට තවත් බලාගෙන ඉන්න ඕනි වුනේ නැහැ.මම පන්තියට ආවා.. ඇවිත් පංතියේ කවුළුවෙන් එලිය බලාගෙන හිටියා ළමයි එළියේ සෙල්ලම් කරන හැටි...

"මොකද ෂමිරු මූනත් එල්ලගෙන... අද සෙල්ලං කරන්නේ නැද්ද?"



කොහේදෝ ඉඳං ඇවිත් සාරදී මගේ ළඟ..


"මුකුත් නැහැ සාරදී.. ඔලුව රිදෙනවා... ඒකයි පන්තියට ආවේ..."

"ඇත්තටමද? මමනං කවදාවත් දැකල නැහැ ෂමිරු ඉන්ටවල් එක ඉවර වෙන්නත් කලින් පන්තියට ඇවිත් ඉන්නවා.."



මට හිනා ගියා.. කතාව ඇත්ත, මම කවදාවත් කලින්නං පන්තියට එන්නෙම නැහැ.තවත් පරක්කු වුනොත් මිසක්.

"අද සෙල්ලං කරන්න බැහැ කියලා හිතුනා සාරදී.."

සාරදීට හිනා...

"ශෂික නෙතූ එක්ක සෙල්ලං කරන නිසාද?"



සාරදීගේ ප්‍රශ්නෙන් මාව ගැස්සිලා ගියා...

"අපෝ!! මට මොකෝ එයාල සෙල්ලං කලාට.."

"බොරු කියන්නෙපා හලෝ! මම දන්නවනේ ඔයයි නෙතුයි කොච්චර යාලුයිද කියලා.."

මාව රතු වුණා..



"ඒත් දැන් එයාට මාව මතකවත් නැහැ.ශෂිකව ලොකු වෙලා මට වඩා." මට ඇත්තම කියවුණා...

"ඉන්ටවල් ඒකෙන පස්සේ , ඔයා අද මගේ ලඟින් වාඩි වෙන්න ෂමිරු.එයාට තේරේවි එතකොට ඔයාට තරහ ගිහින් කියලා."

මට ඒ අදහසේ වරදක් දැනුනේ නැහැ.මටත් නෙතූ කරපු දේට අනිත් පැත්තට , එයාට ආයෙමත් රිද්දන්න ඕනිකමක් ඇතිවුණා...


සාරදිගේ වචන අහලා , මම එවෙලේම ගිහිං බෑග් තියෙන තැන් වෙනස් කළා.සාරදිගේ බෑග් ඒකයි බඩු ටිකයි අරං නේතූ හිටපු තැනින් තියලා , එයාගේ බඩු ටික සාරදී හිටපු , ශෂික ළඟ මෙහා පැත්තේ තැනින් තිබ්බා...



"මට රිද්දුවනේ!! ඉන්නවකෝ , දැන් රිද්දන්නන් ඔයාටත් මම.." මම හිතෙන් හිතුවා...


" ටාං! ටාං! ටාං! "


ඉන්ටවල් ඉවර වෙන බෙල් එක වැදුනා...

*********



"අන්නාසි කීයද අංකල්?"

"පැකට් එකක් 50 යි මහත්තයෝ..."

"අපෝ ඕක ගන්නෙපා ෂමිරු.. බලන්නකෝ එකේ අන්නාසි පොඩ්ඩයිනේ තියෙන්නේ...රුපියල් 10 ක වත් අන්නාසි නැහැ ඕකේ!"

"මෙහෙ ඔහොම තමයිනේ නෙත්මි... ඔන්න ඔහේ ගමු දැන් 
අඬගහපු එකේ..."

"ගණන් වැඩි නැද්ද අංකල්?" නෙතුටත් කට පියාගෙන ඉන්නම බැහැනේ...

"මොනවා කරන්නද නෝනා... මේ දවස්වල අන්නාසි ගණන් ගිහිල්ලනේ..."

"ඇත්තට?? ගෙඩියක් 500ක් විතර වෙලා ඇති නේද? මෙච්චර පොඩ්ඩක් 50ක් වෙන්නේ?"... නෙතූ නං!! අනේ මන්දා!!!

"පැකට් එකක් දෙන්න අංකල්..." පුදුම වෙලා වගේ බලං උන්නු මනුස්සයට මම කිව්වා... ඒ ගමන්ම , නෙතුට කට පියාගෙන ඉන්න කියලා සංඥාවකුත් දුන්නා...

"මෙන්න සල්ලි..." අන්නාසි වෙළෙන්දා පිටත් වුණා..

"ඇයි නෙතු කට පියාගෙන ඉන්නේ නැතුව එක එක ඒවා කියන්න ගියේ??"

"නැහැ ෂමිරු... ඇත්තටම හිතන්න , මොන ලෝකෙද මෙච්චර අන්නාසි ගණන් ගිහින් තියෙන්නේ කියලා... ඔය මිනිස්සුන්ගේ බොරුව! කපල් එකක් දැක්කම ගාන කඩාගන්නවා..."

"ඉතිං ඒ මිනිස්සුත් ජීවත් වෙන්න එපැයි ළමයෝ..."



"බොරු කරල , මිනිස්සුන්ව රවට්ටලද , ජීවත් වෙන්නේ...? ඒක හරි කියලා කියා කියා , වැරැද්ද දැක දැකා , කට පියාගෙන ඉන්න මිනිස්සු හන්දා තමයි ඒ මිනිස්සු තව තවත් බොරුවට , හොරකමට පෙළඹෙන්නේ ෂමිරු!"

"අනේ මන්දා... ඔයානං ලෝකේ හදන්න ගිහිං කවදාහරි ගුටි කනවා!!" මගේ කතාවට එයාට හිනා...

"උඩුගං බලා පීනන මිනිස්සුන්ට ගහන්න බනින්න ඕනි තරං මිනිස්සු ඉන්නවා!! ඒත් උදව්වක් , උපකාරයක්‌ කරන්න කවුරුත් නැහැ! ඒක අමුතුවෙන් කියන්න ඕනි නැහැ ෂමිරු... අත්දැකීමෙන්ම දන්නවා... "

"හ්ම්ම්..." මම නිරුත්තරයි... එයා කියන ගොඩක් දේවල් ඇත්ත...

"ෂමිරු , බත් එකක් ගෙනාවා මම , ඒකත් මේ ගමන්ම කමුද?"

"කමු..."

ලඟම තිබුණු ටැප් එකකින් ඇත හෝදගෙන දෙන්නත් එක්ක බත්මුල දිග ඇරගත්තා බැංකුව උඩම...සුවඳම සුවඳයි බත් එක... සුදු බතට , පොලොස් මැල්ලුමයි , පරිප්පුවයි , තෙල් දාපු කරවලයි... තව වෙන මොනවද ඕනි!!!

"අම්මෝ සුවඳ.. රසත් එහෙමම ඇති... කවුද ඉව්වේ?" මගෙන් ප්‍රශ්නයක්...



"කවුද ඉතිං , මම තමයි!! මේ දවස් ටිකේ අම්මට සනීප නැහැ ෂමිරු , ඉතිං මම උදේම නැගිටලා උයනවා... මොන දේ කලත් , ඒවත් අමතක කරන්න බැහැනේ ෂමිරු..."

ඒ වචන ටිකට මාව උණු වුණා... මොන තරං රැඩිකල් කෙල්ලෙක් වුණත් , තමන්ගේ වගකීම් අමතක නොකරන එක මටම පුදුමයි... ඊටත් වඩා ආඩම්බරයි... මගේ "නෙතූ" පුදුම කෙල්ලෙක්..

"මොකෝ අනේ බය වෙලා වගේ.... කෝ එන්න , පලවෙනි බත්කට ඔයාට...ආ ගාන්න.. කෝ ඉතිං...."

එයා , පොඩි එකෙකුට කවන තරං ආදරෙන් මට බත් කටක් කැව්වා.. ජීවිතේ පලවෙනි වතාවටයි , එයාගේ අතින් බත් කටක් කෑවේ..

"රසා..යි!" මට කියවුනා...

"මගෙනුත් බත් කටක් ආ...."

මමත් එයාට ආදරෙන් බත් කටක් කැව්වා...හැමදාමත් එයා ගාවට වෙලා ඉන්න තිබුනනං කියලා හිතුණා...

ටිකෙන් ටික බත් මුල ඉවර වුණා...  අන්නාසිත් බත් එක්කම කෑව නිසා දැවිල්ල යන්නත් එක්ක දෙන්නම අයිස් ක්‍රීම් කෑවා...

"ඉස්සර මට මතකයි , ඔයා මට රිද්දනවා... එක එක කෙල්ලන්ගේ නම් කියලා.." නෙතූ අතීතේ මතක කරනවා..

"අපෝ! අර සාරදී මතකද? මගෙන් ඔයාව වෙන් කරන්න දඟලපු තරමක්... කොහොමත් ඉස්සර ඒ පන්තියේ හිටිය කෙල්ලෝ ඔක්කොම මාත් එක්ක තරහයි... ඉරිසියාවට! ඔයා මගේ වෙලා උන්නු නිසා...ඇයි ඉතිං ඔයානේ පොර ඒ දවස්වල..." නෙතූ පොඩි එකෙක් වගේ කියෝගෙන කියෝගෙන යනවා...

"පොඩි එකී වුණාට , ඒ දවස්වලත් විසේ හොඳටම ඔයාට.. මට මතකයි ඔයාගේ දාංගලේ..."

"ඔයා හරි නිවුණු තැන්පත් ළමයනේ ෂමිරු!!! අනේ ඉතින් මම කියන්නේ නැහැ!" බොරුවට මුණත් ඇදකරගෙන එයා කියනවා...

දෙන්නටම හිනා...

"අර බලන්න ෂමිරු... අර ගහ පිටිපස්සේ කපල් එකක් ආදරේ කරන්න දඟලන තරං"

එයා පෙන්නපු දිහාට මගේ ඇස් දිව්වා... ගහක පිටිපස්සේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි තුරුළු වෙන්න හදනවා , ලෝකෙට නොපෙනෙන්න...

"හරි පවු නේද ෂමිරු?"

"හ්ම්ම්.."

"ලංකාවේ ඇත්ත තත්වේ තමයි ඔය පේන්නේ... සල්ලි තියෙන මිනිස්සු කාමර සල්ලි වලට අරං , ගෑනුන්වත් සල්ලි වලට අරං නිදි වදිද්දී , අහිංසක , සල්ලි නැති , දුප්පත් කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන්න නිදහස් තැනක් හොයා හොයා දඟලනවා..."

"ආදරේද ආශාවද නෙතූ??"

"ආදරේ කරන දෙන්නෙක්ට ආශාවල් නැති වෙන්න බැහැනේ ෂමිරු! තුරුල් වෙලා ඉන්න , හාද්දක් දෙන්න , ඔලුව උකුලේ තියාගෙන නිදියගන්න , ආස නැද්ද ෂමිරු තමන්ගේ ජීවිතේ අයිතිකාරයා ළඟ ඉද්දි?? හැඟීමක් , දැනීමක් තියෙන ඕනිම කෙනෙකුට තේරෙනවා එහෙම දෙයක් තියෙන එක ස්වාභාවිකයි කියලා... ඒත් , පුහු  උජාරුවට , සංස්කෘතිය ඉස්සරහට දාගෙන , උඩු බුරලන එවුන් නිසා , අහිංසක කොල්ලන්ට කෙල්ලන්ට , නිදහසේ ආදරේ කරන්නවත් අයිතියක් නැහැ දැන්.... ඇයි , ගිය සතියේ පත්තරෙත් තිබ්බේ , ගෝල් ෆේස් හිටපු කපල් විසි ගානක් පොලිසිය අරං ගිහිං කියලා... "

"ඔයා කියන දේවල් ඇත්ත... ඒත් මම හිතන්නේ නැහැ මිනිස්සු එකඟ වෙයි කියලා ඔයාගේ ඔය විකාරරූපී අදහස් වලට නෙතූ... "

"වෙනසක් ඕනි... රටටම ෂමිරු!! රටටම වෙනසක් ඕනි වෙලා දැන්!!"

"ඔයාගේ විකාර!"

"මට නෙවෙයි , ඔයාලට..."

"වෙන්න ඇති! කමක් නැහැ!"

මොහොතක නිහඬතාවක්....අපිටත් නොදැනීම වැස්සක් කඩාපාත් වෙන්නයි හදන්නේ.. මුළු අහසම කළු කරලා..

"නෙතූ.. දුවමුද වැස්සට කලින් බස් හෝල්ට් එකට? නැත්තං තෙමෙන්න වෙන්නේ හොඳටම..."
 

"පොඩි කාලේ වගේද? " හිනා වෙවී එයා අහනවා... මම ඔලුව වැනුවා...

"හරි එහෙනං දුවමු....."

අපි දෙන්නා බෑග් දෙකත් කරේ දාගෙන දුවන්න පටන්ගත්තා... මගදී හිරිපොද වැස්සක් පටන්ගත්තා... තෙමි තෙමීම දිව්වා දෙන්නම ටවුන්හෝල් බස් හෝල්ට් එකටම.... හෝල්ට් එකට යද්දී දෙන්නම නෑවිලා... තෙමිලා හොඳටෝම... බස් හෝල්ට් එකේ හිටපු හැමෝගෙම ඇස් අපි දිහා බලාගෙන කියලා මට තේරුණා.. මම නෙතූව පැත්තකට කරගත්තා...





"පිහිදගන්න මේකෙන්... ඔයා හොඳටම තෙමිලා..." මම මගේ ලේන්සුව දික්කළා..



නෙතුගේ මූන රෝස පාට වෙලා... හිනාවෙන් පිරිලා... මගේ ලේන්සුව අරන් එයා මුණයි , කොන්ඩෙයි පිහිදනවා... මගේ ඇස් මොහොතකට ඒ ලස්සන ඉස්සරහ නැවතුණා...එයාගේ නිල් පාට බ්ලවුස් එක ඇඟටම ඇලිලා... කොන්ඩේ දිගේ වතුර බේරෙනවා... මොහොතකින් මට හිතුනා මම වරදක් කරනවා කියලා... මම අහක බලාගත්තා...

"ආ.... ගන්නකෝ ලේන්සුව... ඔයත් ඔලුව පිහිදගන්න ... නැත්තං ගෙදර යද්දී හෙම්බා හැදෙයි..."

දික්කරපු ලේන්සුව අරං , මාත් ඔලුව ටිකක් පිහිදගත්තා...



වැඩිවෙලා ඉන්න හම්බුනේ නැහැ , ආපු 138 බස් එකකට අපි දෙන්නම ගොඩ වුණා... බස් එක එහෙම පිටින්ම හිස්.... පිටිම පස්සේ දොරගාව මුල්ලේ අපි දෙන්නම වාඩිවුනා... වාඩිවුණු ගමන්ම ,  එයා මගේ අත අරං තුරුල්කරගත්තා... සීතලට 'නෙතූ' ගැහෙනවා මට දැනුණා... පව්!




"ජීවිතේ මම ආසම කරපු දවසක් අද ෂමිරු..."

"හ්ම්ම්..."

"අවුරුදු ගානකට පස්සේ , ඔයාව හම්බුණා... ගොඩාක් ලංවෙලා ඉන්න පුළුවන් වුණා , ගොඩක් දේවල් මතක් කළා , කතා කළා... ෂෝයි!!" මගේ අත තවත් බදාගන්න ගමන් එයා කියනවා...

"මම පව්!" මට කියවුණා...

පුදුම වෙච්ච්ච එයාගේ ඇස් මගේ දිහාවට හැරුණා...

"ඇයි ෂමිරු ඒ?"

"ඔයා මගේ නෙවෙයිනේ..."

එක පාරටම වරදක් කරපු පොඩි එකෙක් වගේ , එයා මගේ අත අතෑරියා..

"I'm sorry... ෂමිරු...."

"සොරි කියන්න ඔයා වරදක් කරලා නැහැ..."

"මම දන්නවා... ඒත්..."

"ෂ්..
ෂ්...ෂ්.. මුකුත්ම කියන්නෙපා..." එයාගේ තොල් දෙක උඩින් දබරැඟිල්ල තියලා මං කිව්වා...

"ගැහෙනවා නේද නෙතූ? දොයියන්න උරිස්ස උඩ... මම ඔලුව අත ගාන්නම් නින්ද යනකං..."

එයා ඔලුව දෙපැත්තට වැනුවා... "මට බැහැ උරිස්සට හේත්තු වෙන්න ෂමිරු..... 
කමක් නැත්තං විතරක්..., අතදෙන්න බදාගන්න... රස්නෙයි අත ඔයාගේ... "

නෙතූ මගේ අත බදාගෙන , සීට් එකට ඔලුව තියාගෙන නිදියගත්තා... මටත් නින්ද ගියා... 



කොට්ටාවෙන් බහින්න ලංවෙද්දී , නෙතූ මගේ කම්මුලකට කිස් එකක් දුන්නා ... කාටත් රහසෙන්...

"පරිස්සමෙන් ගෙදර යන්න නෙතූ..."

"තාත්තා එනවනේ හංදියට මාව එක්කගෙන යන්න.... ඔයා පරිස්සමෙන් යන්න ෂමිරු..."

එයා කොට්ටාව හන්දියෙන් බහිනකොට වැස්ස නැවතිලා... එය මට අතත් වනාගෙන ඉස්සරහට ගියා... 



ජීවිතේ වෙනස් කරපු දවසක නිමාව.... අන්තිමේදි එයාව මට මුනගැහුණා.... සතුටුයි....


*********



තරා වෙන්නෙපා මාත් එක්ක
කේන්ති ගියේ දුක වැඩි හන්දා

ඇයි දැන් හැමෝම ශෂිකට කැමති?
මම නරක ළමයෙක් වෙලාද?
කියන්නකෝ නෙතූ...
මාව දාලා එයත් එක්ක

සෙල්ලං කරන්න ගියේ
මට රිද්දන්නද?
මගෙන් පලි ගන්නද?
රිදුණා හොඳටම..
ඇඬුවා ගොඩාක්
දැන් සතුටු ද..?
තරහයි මම...
රිද්දනවා ඔයාටත්..
බලාගෙන ඉන්නකෝ...






*********

-- මතු සම්බන්ධයි --






Monday, July 9, 2012

නොකරපු වරද.....


 නොකරපු වරද..... 



කොච්චර අමතක කළත් ,
අමතක කරන්නම බැරි එකම දේ ,
මට ආයෙමත් වද දෙනවා... 
අමතක කළා කියලා හිතාගෙන හිටියට ,
එහෙම වෙලා නැහැ කියලා මම අද දැනගත්තා...
ඇස් වලට කඳුළු පුරවන්න ,
මුළු ඇඟම හිරිවට්ටන්න,
තාමත් ඒ වචන වලට පුළුවනි කියලා අද තේරුම්ගත්තා... 

කොහොම තේරුම් කරන්නද!!! 
කාට තේරුම් කරන්නද!!! 
නොකරපු වරදකට,
වරදකරුවෙක් කරන්නෙපා කියලා,
කාට කෑ ගහන්නද මම??
ඔයාට ඇහෙනවනං,
ඒ දේ කරන්නෙපා මට,
කවමදාවත්....

ජීවිතේ කරපු එකම එක වැරැද්ද,
ඔයාගේ ආදරේ තේරුම් නොගත්තු එක...
ඒ එකම එක වැරැද්ද නිසා,
මම හැමදාමත් දුක්විඳිනවා,
ජීවිතේ පුරාවටම...

පුළුවන් වුණොත් ,
කවමදාකහරි , සමාවෙන්න මට...

මම කරපු වැරැද්දට...
නොකරපු වැරැද්දට නෙවෙයි....



ප.ලි. : පලිගන්න තරම් දෙයක් ඉතුරුවෙලා නැහැ මගේ... තවත් රිද්දන්න එපා... තේරුමක් නැහැ...


අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්‍රපටයක......

අහිමි සෙනෙහස කෙටි නවකතාව , කෙටි චිත්‍රපටයක......

     මගේ බ්ලොග් එකේ මුලින්ම ලියවුනු කෙටි නවකතාව , "අහිමි සෙනෙහස" පදනම කරගෙන මීට අවුරුද්දකට විතර උඩදී , කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්න මමයි , මගේ යාළුවො 4 දෙනෙකුයි එකතුවුනා.කතාව පොඩ්ඩක් වෙනස් කරලා , හිතන්නත් යමක් ඉතුරු කරලා , හැකි පමණින් වැඩේ කළා... කට්ටියටම අද ඒ කෙටි චිත්‍රපටය බලන්න දෙන්නයි මගේ ලෑස්තිය...ඒ විතරක් නෙවෙයි , කෙටි චිත්‍රපටයත් එක්කම , තේමා ගීතයකුත් නිර්මාණය වුණා... අපේ නිර්මාණ, තාක්ෂණය සහ තත්වය අතින් උපරිම නොවෙන්න පුළුවනි , ඒත් අපි ලබපු ආත්ම තෘප්තිය නම් උපරිමයි...

කතා ඇති... 

මෙන්න තේමා ගීතය...



මෙන්න කෙටි චිත්‍රපටය....

නිෂ්පාදනය : OPEN Minds video production crew [ජංජාල චාමර,චමිඳු මිහිරංග,සුරංග මුණසිංහ,ටිරෝෂන් මදුසංක,මිහිර ලක්රුවන් ]
අධ්‍යක්ෂණය සහ තිර රචනය : චමිඳු මිහිරංග 
සහය අධ්‍යක්ෂණය : සුරංග මුණසිංහ
කතාව : ජංජාල චාමර 
කැමරාකරණය : ටිරෝෂන් මදුසංක
ආලෝකකරණය : මිහිර ලක්රුවන්
තේමා ගීතය : සංජය 



සිංදුවයි , කෙටි චිත්‍රපටයයි බලලා හොඳ නරක කියලත් යනවනං ගොඩක් හොඳයි... :)